Thursday, April 18, 2024

General line - 0115112241

ජනපති කළ කතාවට එජාපයෙන් පිළිතුරු

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




ඉකුත් සමයේ සිදු වූ වැරදි තවදුරටත් සිදු වන්නේ නම් ඉදිරි ගමන පිළිබඳ ඇති සහතිකය කුමක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණෙන් ප‍්‍රශ්න කරනවා. ගැටුම් සමග තවදුරටත් කටයුතු කිරීමට තමා සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නව අග‍්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් ඊයේ (16) අමතමින්. මහ බැංකු වංචාව සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණවල ප‍්‍රගතිය පිළිබඳ තමා කණගාටු වන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. දූෂණය සහ වංචාවට එරෙහිව තමා තවදුරටත් පෙනී සිටින බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ. 

ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස පළ කළේ මෙවන් අදහසක්.

"අපි මේ ගමන අර්බුද ඇති කරගන්නේ නැතිව..අර්බුද තිබෙනවා නම් තනි තීරණ ගන්නේ නැතිව..සාකච්ඡා කරලා විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ ඉදිරිපත් කරපු කරුණු කාරණා හදවතින්ම ඉදිරිපත් කරපු කරුණු කාරණා. අපි ඒවා සියල්ලම අපේ හදවතට ගත්තා. ඒ වගේම ඔබතුමාට බොහොම පැහැදිළිව කියන්න ඕනේ.. අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන කථා කළෙත් නෑ..ඒවා කරන්නට බලාපොරොත්තුවකුත් නෑ."

>

ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරියේ ඊයේ කළ මෙම චෝදනා පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම්ගෙන් ද නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "නීතිවිරෝධී ලෙස අපි කිසිම කටයුත්තක් කරන්නේ නෑ. අපි විනිවිදභාවයයි..විවෘතභාවයයි..යහපාලනයයි මේ රටේ ඇති කරලා තියෙනවා. චෝදනා තියෙනවා නම් ඔප්පු කරන්න.. මේ රටේ නීතිය හොඳට වැඩ කරන බව අපි දැක්කා පසුගිය දවස්ටිකේ. " යනුවෙනි. 

ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු කටයුතු සඳහා ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.