Saturday, April 20, 2024

General line - 0115112241

ඡන්දයක් ඕනෑ කවදාදැයි රනිල් හැමෝගෙන්ම අහන්න යයි (UPDATE/ PHOTOS)

තරංග රුක්ෂාන් ජයසේකර / සජිත් තිලකරත්න / ඩිල්ෂාන් මඩවල / කසුන් කැලුම් / මහේෂ් චතුරංග




මහමැතිවරණයක් පැවැත්විය යුත්තේ කුමන වකවානුවකදැයි සියලූ දේශපාලන පක්ෂවලින් ඉදිරියේදී මත විමසන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. බහුතරයට ගරු කරමින් ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නා බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. කොළඹ ගාලූමුවදොර පිටියේ අද (18) පැවැති යුක්තියේ සටන ජන රැළියේදී මෙම අදහස් පළ කෙරුණා.

කිසිවිටෙකත් රට බෙදීමට කටයුතු නොකරන බවද පවතින ගැටලූවලට ව්‍යවස්ථා විසඳුමක් ලබා දෙන්නේ ඒකීය රාජ්‍යයක් තුළ බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

පාර්ලිමේන්තුවේ විනය ගරුකව හැසිරිමට හෝ නොදන්නා පිරිසකට රටේ බලය ලබා නොදිය යුතු බවද අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලබන නව සන්ධානයක් පිළිබඳවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළා. මෙම නව සන්ධානය සඳහා වූ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ලබන සිකුරාදා ඉදිරිපත් කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

........................................................................

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් - අගමැති කියයි

(17-12-2018 19:15)

ඉදිරි මහමැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා දෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු මෙම ඉල්ලීම කළේ කොලඹ ගාලූමුවදොර පිටියේ දැන් පැවැත්වෙන ‘‘යුක්තියේ සටන’’ ජන රැළියේදීයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලබන නව සන්ධානයක් පිළිබඳවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළා. 

අපි තරග කලේ එක්සත් ජනතා සන්ධානය කියලා. දැන් අපි අලුත් සන්ධානයක් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනවා. ඒ තමයි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියලා. අපේ නීතිඥයින් දැනට ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. ලබන සිකුරාදා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එම යෝජනාව මම ඉදිරිපත් කරනවා. මම විශ්වාස කරනවා සියලු දෙනාම එයට සහයෝගය දේවි කියලා. එම පුළුල් සන්ධානය ඔස්සේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපි පියවර ගන්නවා යැයි අගමැතිවරයා මෙහිදී කියා සිටියා.

ඉකුත් ඔක්තෝම්බර් 26වනදා හදිසි බලපෙරළියක් සිදු කළේ මහමැතිවරණයක් ලබා ගැනීමට යැයි ප‍්‍රතිපක්ෂය කරන ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කරන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. 

ජර්මනියේ හිට්ලර් පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරුණා. 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස ද මෙහිදී අදහස් දැක්වුවා.

සිදුවූ පසුබෑම නිවැරදි කර රට නැවත පෙරට ගෙන යන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

 

 

.................................................

මීළග ජනපතිවරණයේ සිය අපේක්ෂකයා ගැන එජාපයෙන් ඉඟීයක් 

(17-12-2018 16:45)

මීළග ජනාධිපතිවරණයේදි තමන් ඉදිරිපත් කරන අපේ්ක්ෂකයා පිළිබඳ එක්සත් ජාතික පක්ෂය අද ඉගි පළ කළා. ඒ ගාලූමුවදොර පිටියේ දැන් පැවැත්වෙන යුක්තියේ සටන ජන රැළියේදීයි. මේ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නවීන් දිසානායක.

මීට නොබෝ වේලාවකට පෙර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද මෙම ජනරැළියට පැමිණියා.

.............................................................

එජාප රැළියේදී මෛතී‍්‍රට සහ මහින්දට ස්තූති ප‍්‍රකාශයක් (UPDATE/ PHOTOS)

(17-12-2018 16:05)

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කෙරෙන යුක්තියේ සටන ජනරැළිය මේවනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, කොළඹ ගාලූමුවදොර පිටියේදීයි. මෙම ජනරැළිය එක්සත් ජාතික පක්ෂයේ බලය රටටම දැකබලා ගත හැකි අවස්ථාවක් බව එහිදී ප‍්‍රකාශ කෙරුණා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් පැවසුවේ විසිරී සිටි එක්සත් ජාතික පක්ෂය මෙලෙස යළි එකමුතු වූයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිසා බවයි. 

...............................................................................

යුක්තියේ සටනට එජාප ආධාරකරුවෝ ගාලූ මුවදොරට රැස්වෙති (UPDATE)

(17-12-2018 15:05)

එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ‘‘යුක්තියේ සටන’’ ජනරැළිය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පවසනවා. ඊට සහභාගී වීම සඳහා විවිධ ප‍්‍රදේශවලින් පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් මේවනවිටත් ගාලූ මුවදොර පිටියට එක්රැස් වෙමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ හේතුවෙන් ගාලූ පාර, ගාලූ මුවදොර ප‍්‍රදේශයේ් සහ කොළඹ කොටුව සහ අවට සෙසු ප‍්‍රධාන මාර්ග සියල්ලෙහිම ද මේවනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පැවසුවා.   
 

.....................................................................

‘‘යුක්තියේ හඬ ’’ එජාපයේ ජන රැළිය ඇරඹීමට සියල්ල සූදානම්

(17-12-2018 14:05)

එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කරන ‘‘යුක්තියේ සටන’’ ජන රැළිය ගාලූ මෝදර පිටියේදී ආරම්භ කිරීම සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සදහා සහභාගී වීමේ අරමුණින් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලින් එක්සත් ජාතික පාක්ෂිකයින් රැසක් දැනටමත් කොළඹට පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ මන්තී‍්‍රවරු මෙම රැළිය අමතා අදහස් දැක්වීමට නියමිතයි.