Friday, April 19, 2024

General line - 0115112241

"විපක්ෂ නායක පුටුව මහින්දටත් ශ්‍රීලනිපයටත් ලබාගත නොහැකියි" - එජාපෙ

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




පාර්ලිමේන්තුව අද (18) රැස්වීමට පෙර දහවල් 12.00 ට එහි පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

විපක්‍ෂ නායක ධූරය ලබාදිය යුත්තේ කාට දැයි යන්න එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. 

විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබිය යුතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් අවධාරණය කරනවා. විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබානොදීමට විවිධ තර්ක ඉදිරිපත් කෙරුණත් එම තර්ක පදනම් විරහිත බවයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ. ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ඒ බව සඳහන් කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණෙන්ද විමසීමක් කළා. ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පැවසුවේ විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ වෙනත් අයෙකුටද ලබාගත නොහැකි වනු ඇති බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර හෙබවීම ඊට හේතුවයි.

එහිදී "ප්‍රධානම ප්‍රශ්නය තමයි ප්‍රධානම පක්ෂය වන ශ්‍රීලනිපයෙන් තමයි තරග කරලා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. එතකොට ශ්‍රීලනිපයේ නායකයා වන ජනාධිපති ආණ්ඩුවේ කොටස්කරුවෙක්. ආණ්ඩුවේ ඇමතිකම් 03ක් ව්‍යවස්ථාවෙන්ම දරණවා. එතකොට ආණ්ඩුව නියෝජනය ද ශ්‍රීලනිපය විරුද්ධ පක්ෂය නියෝජනය ද ශ්‍රීලනිපය කියන කරුණු දෙක මම දන්නේ නෑ කොහොමද ගලපන්නේ කියලා.එසේ අමාත්‍යධූර දරමින් සිටියදී එම පක්ෂයටම විරුද්ධ පක්ෂයේ නායකත්ව දීම කියන එක සම්ප්‍රදායට විරුද්ධයි." යනුවෙන් සඳහන් කළා.

විපක්‍ෂ නායක ධුරය පිළිබද ස්ථාවරය කුමක් දැයි නෙත් නිවුස් මීට පෙර දෙමළ ජාතික සන්ධානයෙන්ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, පක්‍ෂයක් ලෙස ආණ්ඩුවේ අමාත්‍ය ධුර භාර නොගතහොත් මහින්ද රාජපක්‍ෂ මහතාට හෝ එම පක්‍ෂය නියෝජනය කරන වෙනත් අයෙකුට විපක්‍ෂ නායක ධුරය ලබාගත හැකි බවයි. ඊට සිය විරුද්ධත්වයක් නොමැති බවද දෙමළ ජාතික සන්ධානය පැවසුවා.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ විපක්‍ෂ නායක ධුරය පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්ට අනුව කවරෙකුට හිමිවුවද තමන්ට එහි ගැටළුවක් නොමැති බවයි.