Friday, March 29, 2024

General line - 0115112241

මැතිව්ස්-කුසල් වාර්තා පොත් අලුත් කරයි (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර




නවසීලන්තයට එරෙහිව ශ‍්‍රී ලංකා දෙවන ඉණිමේදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් වාර්තා පොත් අතරට එක් වී තිබෙනවා. තරගයේ සිව්වන දිනය වූ අද ඔවුන් දෙදෙනා දවස පුරාම කඩුල්ලේ රැඳි  සිටියා. ඒ අනුව දවස පුරා පිටියේ රැඳි සිටි හයවන ක‍්‍රීඩකයින් දෙපළ ලෙස ඔවුන් අද (18) ඉතිහාසයට එක්වුණා. 

එවැනි දස්කමක් පිතිකරුවන් දෙදෙනෙකු සිදු කර ඇත්තේ වසර 10කට පසුවයි. දවස පුරා නොදැවී පිටියේ රැඳී සිටි දෙවන ශ‍්‍රී ලාංකික පිතිකරු යුවළ ලෙස ද මැතිව්ස් සහ කුසල් අද ඉතිහාසයට එක්වුණා. 2006 දී මීට පෙර එම දස්කම දක්වා තිබුණේ කුමාර් සංගක්කාර් හා මහේල ජයවර්ධනයි. 

එමෙන්ම වසර තිස් දෙකකට පසුව ශ‍්‍රී ලංකා දෙවන ඉණිමක දී වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාව ලෙස මැතිව්ස් සහ කුසල් අද ගොඩනැගු නොබිඳුණු ලකුණු 246 ද ඉතිහාසයට එක්වුණා. ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ආසියාවෙන් පිටත දී ලකුණු දෙසියයකට වඩා වැඩි සබඳතාවක් දෙවන ඉණිමක දී වාර්තා කළ පළමු අවස්ථාව ද මෙය වනවා. 

වසර තිස් දෙකකට පසුව ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දවස පුරාම කඩුල්ලේ රැඳී සිටි පළමු අවස්ථාව ද මෙයයි. කුසල් සහ මැතිව්ස් අද දිනයේ නොදැවී ශතක රැස්කර ගෙන සිටින අතර ආසියාවෙන් පිටත ටෙස්ට් තරගයක දෙවන ඉණිමක දී ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු මෙලෙස ශතක රැස් කර ඇත්තේ වසර 23කට පසුව වීම ද විශේෂත්වයක්. 

එමෙන්ම නවසීලන්තයේ ටෙස්ට් තරගයක දෙවන ඉණිමකදී වාර්තා වන සිව්වන ඉහළම ලකුණු සබඳතාව ද මෙය වනවා.