Friday, March 29, 2024

General line - 0115112241

රටම බලා සිටින කැබිනට් මණ්ඩලය ප්‍රමාද වෙන්න හේතු මෙන්න

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටි කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද (19) දිනයේ ද සිදු නොවනු ඇතැයි දේශපාලන ආරංචි මර්ග පවසනවා. ඊට හේතු වී ඇත්තේ අමාත්‍ය ධුර සඳහා පත් කරන ලැයිස්තුව මේ දක්වා ජනාධිපතිවරයා වෙත යවා නොතිබීමයි.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ බොහෝ දුරට අද දිනයේ දී එම ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇති බවයි. එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ස්වෙච්ඡාවෙන් අමාත්‍ය ධුර භාර නොගැනීමත් සමග නම් ලැයිස්තුව සැකසීම ප‍්‍රමාද වී ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ. 

කෙසේවෙතත් අද උදෑසන නෙත් නිවුස්  වෙත එක්සත් ජාතික පක්ෂය පැවසුවේ අද දිනයේ අමාත්‍යවරුන් විසි දෙනෙකු පමණ දිවුරුම් දෙනු ඇති බවයි. දිවුරුම් දීම ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් යළි එක්සත් ජාතික පක්ෂයෙන් විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල සඳහන් කළේ තවත් පැය 24ක් ඇතුළත කැබිනට් අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙනු ඇති බවයි. සිකුරාදාට පෙර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුද දිවුරුම් දෙනු ඇති බවද සඳහන් කළා. 

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කට සීමා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට යම් ගැටළුවක් මතුව ඇති බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ. "එක්සත් ජාතික පෙරමුණ අපි තීරණය ගත්තේ කැබිනට් අමාත්‍යවරු 30කට සීමා කරන්න. ඒත් ශ්‍රීලනිපයෙන් මන්ත්‍රිවරු 03 දෙනෙක් ආවා. තවත් එන්න ඉන්නවා. ඒකත් එක්ක වෙනස් වෙයිද කියන මතය තමයි තියෙන්නේ." යනුවෙනි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප‍්‍රබල අමාත්‍යවරයෙකුට මෙවර කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් හිමි නොවනු ඇති බවට ද විවිධ වාර්තා පළ වනවා. ඉකුත් සමයේ ඔහු ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කළ අයෙකු බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.