Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවට බලපෑ සුනාමියෙන් පුද්ගලයින් 220ක් මරුට (PHOTOS/VIDEOS)

පවිත්‍රා මධුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආසන්න වෙරළ කලාපයට බලපෑ සුනාමි තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව මේවනවිට 220ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාවද 843ක් බවයි විදෙස් වාර්තා පැවසුවේ. අතුරුදන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 28ක්. එබැවින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් සඳහන් කළා. 

මේ අතර තවත් සුනාමි තත්ත්වයක බලපෑම් ඇතිවීමේ අවධානමක් පවතින බැවින් අදාළ වෙරළ කලාපයෙන් ඉවත්ව සිටින්නැයි ඉන්දුනීසියාවේ කාලගුණ බලධාරීන් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවද සඳහන්. 

ඊයේ (22) රාතී‍්‍ර 09 යි 30ට පමණ  බලපෑ මෙම සුනාමි තත්ත්වයෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වූයේ සංචාරක කර්මාන්තය සඳහා ප‍්‍රකට පැන්ඩලෑන්, දකුණු ලම්ප් සහ සේන්ග් යන ප‍්‍රදේශවලටයි.

ජීවිත හානිි වලට අමතරව දේපළ හානි රැසක්ද වාර්තා වනවා. ගොඩනැගිලි සිය ගණනක් මෙන්ම මෝටර් රථ රැසක් සුනාමි රළපහරට හසුව විනාශ වී ඇතැයි සඳහන්. ඉන්දුනීසියවේ පිහිටි ක‍්‍රැකටෝවා නම් ගිනි කන්දක් විධාරණය වීමෙන් සාගර පතුලේ සිදුවූ නායයාම් තත්ත්වයක් මෙලෙස සුනාමි රළ පහරක් ඇති වීමට හේතු වුණා. මෙම සුනාමි තත්ත්වය හටගත් සුන්දා සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ ජාවා මුහුද, ඉන්දියන් සාගරය හා සම්බන්ධ වන ජාවා සහ සුමාත‍්‍රා දුපත් අතරයි.