Thursday, April 25, 2024

General line - 0115112241

පාකිස්ථානයේ හිටපු අගමැතිට 7 වසරක සිර දඬුවම් නියම වේ

දිනුක් හේවාවිතාරණ




පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් හට එල්ලවී ඇති නවතම දුෂණ චෝදනා හේතුවෙන් ඔහුට වසර 7ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය අද (24) නියෝග කරනු ලැබුවා.

ඉස්ලාමාබාද් හි පිහිටි දුෂණ විරෝධී මහාධිකරණය විසින් හිටපු පාකිස්ථාන අගමැතිවරයාට මෙම සිර දඬුවම නියම කරනු ලැබුවේ ඔහුගේ ප්‍රකාශිත වත්කම් බැරකම් ඉක්මවා යමින් සිදුකර ඇති ආයෝජන සම්බන්ධයෙන් වන තොරතුරු හෙළිවීමත් සමගයි.

කෙසේ වුවත් තමන්ට එරෙහිව එල්ලවී තිබෙන මෙම දුෂණ චෝදනා සත්‍යයෙන් තොර බව හිටපු අගමැති නවාස් ෂෙරිෆ් ප්‍රකාශ කරනවා. මිට පෙරද ඔහුට එල්ලවූ දුෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 10ක සිර දඬුවමකට යටත්ව දඬුවම් විදිමින් සිටි නවාස් ෂෙරිෆ්ගේ දඬුවම මහාධිකරණය විසින් අත්හිටුවීමෙන් පසුව ඔහුව එයින් නිදහස් වුවා.

හිටපු අගමැතිවරයා සම්බන්ධයෙන් අද දිනයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ඉස්ලාමාබාද් මහාධිකරණය අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නවාස් ෂෙරිෆ්ට එරෙහිව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග ඔහුගේ ආධාරකරුවන් අධිකරණයෙන් පිටත කලහාකාරී ලෙස හැසිරීමට පටන් ගැනිමත් සමග එරට පොලිසිය සහ කැරළි මර්ධන ඒකකය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් තත්ත්වය පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගත් බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.