Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රිකට් ගොඩගන්න උදව් කිරීමට හිටපු සුපිරි ක්‍රීඩකයින් ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලු දේ මෙන්න

දිනුක් හේවාවිතාරණ / හේමන්ත කහවලගේ




ඉදිරි මාස දෙකක් ඇතුලත ක්‍රීඩා තරග පාවාදීම් ඇතුළු දුෂණ වංචා සම්බන්ධයෙන් දඬුවම් ලබා දීම සඳහා නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටිනවා. 

ඒ අනුව මේ සඳහා වන නීති කෙටුම්පත් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ නීති සම්පාදක අංශයේ සැකසෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍යවරයා අද (31) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයින් කියා සිටියේ තරග පාවා දීම් සම්බන්ධයෙන් දඬුවම් ලබාදීම සඳහා නීති ගෙනාවොත් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා තම දායකත්වය සපයන බවට පොරොන්දුවූ බව මෙහිදී ඇමතිවරයා කියා සිටියා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටද මේ බව තමන් දැන්වූ  බවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අදාළ නීති පනත සකස් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට යොමු කර එය සම්මත කර ගන්නා බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ.

ඊට අමතරව ක්‍රීඩාවේ සිදුවන වංචා දුෂණ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන විශේෂ දුරකථන සේවාවක්ද ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරම පැය 24 පුරාම යාවත්කාලින වන නව වෙබ් අඩවියක්ද ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම ක්‍රීඩා තරග වලට සහභාගිවීමට නොහැකිව සිටින දරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය සහන සැලසීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට " ඔම්බුස්මන්වරයෙක් හෙවත් දුක්ගන්නාරාළ වරයෙක්" පත් කිරීමටද කටයුතු කරන බවත් ඒ හරහා ජාත්‍යන්තර තරග සඳහා යාමට අවශ්‍ය ගුවන් ටිකට් පත් ලබා ගැනීමට නොහැකි සහ සපත්තු හා අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීමට නොහැකිව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට අවශ්‍ය පියවර ගන්නා බවයි හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.