Friday, April 26, 2024

General line - 0115112241

ජමාල් කෂෝගී ගේ ඝාතකයින්ට මරණ දඬුවම ?

දිනුක් හේවාවිතාරණ




මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනයට සම්බන්ධ සවුදි අරාබි ජාතිකයින් 05 දෙනාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සවුදි අරාබි රජය බලාපොරොත්තු වන බව අද (03) අනාවරණය කෙරුණා. මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුව සිටින පුද්ගලයින් 05 දෙනා එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ගේ සමිපතන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වොෂිංටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙක් වන මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉකුත් වසරේ තුර්කියේ පිහිටි සවුදි කොන්සියුලර් කාර්යාලයේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වුවා. ඔහුගේ ඝාතනයට ලක්වූ බවට සවුදි රජය පළමුව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර පසුව සිය කොන්සියුලර් කාර්යාලයේදී ජමාල් කෂෝගී මිය ගියබවට පිළිගනු ලැබුවත් ඔහුගේ සිරුරට සිදුවුයේ කුමක්ද යන්න ගැන මේ දක්වා හෙළි කර නැහැ. 

අද දිනයේ පැවති නඩුව සඳහා විත්තිකරුවන් 11 දෙනෙක් සහභාගිවූ අතර ඔවුන් ගේ අනන්‍යතාවය හෙළි කිරීමට සවුදි රජය පියවර ගෙන තිබුනේ නැහැ. එමෙන්ම ඉකුත් ඔක්තෝම්බර් මස 02 වෙනිදා සිදුවූ ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව මිට පෙර සවුදි අරාබිය දැනුම් දී සිටියා.

අද පැවති නඩු විභාගය සම්බන්ධයෙන් සවුදි රාජ්‍ය මාධ්‍ය යම් කරුණු කිහිපයක් හෙළි කරනු ලැබූ අතර රජයේ නීතිඥයා සිය අදහස් දක්වමින් කියා ඇත්තේ " ජමාල් කෂෝගී ගේ ඝාතනයට සෘජුව සම්බන්ධ බවට සාක්ෂි ඇති චුදිතයින් 05 දෙනාට උපරිම දඬුවම් හිමිවිය යුතු බවත් ඒ හේතුවෙන් මරණ දඬුවම නියම කළ යුතු බවට කරුණු දක්වා ඇත".

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් තම සේවාදායකයින්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පිටපත් අධිකරණය මගින් ලැබී නැති බැවින් ඒවා තමන්ට ලබා දෙන ලෙසත් කරුණු දැක්වීම සඳහා කාලය අවශ්‍ය බව දන්වා ඇත.

මේ අතර ජමාල් කෂෝගී ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 18 දෙනා තම රටට පිටුවහල් කරන ලෙසත් ඔවුන්ට එරෙහිව තුර්කියේදී නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය බව තුර්කි බලධාරීන් සවුදි රජයට අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති අතර මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.