Wednesday, April 24, 2024

General line - 0115112241

තිසර පෙරේරා, ලසිත් මාලිංග අතර ගැටුම ක්‍රීඩා පිටියටත් ?




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල ඇතිව තිබෙනා අර්බුධය උග්‍ර කරමින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ තුන් ඉරියවු ක්‍රීඩක තිසර පෙරේරා අතර ගැටුම උග්‍ර වී තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ගැටුම් සහ කල්ලිවාදය කලක පටන් බරපතල අන්දමින් තිබූ අතර එය ස්ථාන වෙනුවෙන්, පාසල්, ක්‍රීඩා සමාජ මෙන්ම ආගම් හා ඇදහිලි සම්බන්ධයෙන්ද මෙලෙසින් ක්‍රීඩකයන් අතර ගැටුම් හා බෙදීම් ඇතිව තිබු බවට දිගින් දිගටම වාර්තා විය. 

එලෙසින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර තිබු මත ගැටුමක් පසුගිය දින කරළියට පැමිණියේ ක්‍රීඩකයන් දෙදෙනාගේ බිරින්දෑවරුන් සමාජජාලා මාධ්‍යයන්හි එකිනෙකා දැඩිව විවේචනය කර ගැනීමත් සමගය. 

තිසර පෙරේරා සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුපස යන බවට ලසිත් මාලිංගගේ බිරිඳ විසින් සමාජජාලාවන්හි චෝදනා කර තිබූ අතර එයට පිළිතුරු දුන් තිසර පෙරේරාගේ බිරිඳ සදහන් කර තිබුනේ සිංහ හම පොරවා ගත් ඇතැමෙකුගෙන් වචන පිටවන විට ඔවුන් නරියන් බවට පත් වන බවයි.

මෙම මත ගැටුමෙන් පසු ඊයේ දින (04) තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහුට චෝදනා එල්ල කළ ක්‍රීඩකයා සහ ඔහුගේ බිරිඳ දැඩිව විවේචනය කර තිබුනා. එහිදි තිසර පෙරේරා සටහන් කර තිබුනේ 

"ගොසිප් සයිට් , ෆේස් බුක් හරහා මා හට මඩ ප්‍රචාරනය කිරීමට වෙර දරන අඹුසැමි යුවල හට මා සමග පෞද්ගලික අමනාප කම් ඇතිනම් රැකියාවට එය සම්බන්ධද කර නොගන්නා මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මම යනු මම වන බවත් තැත ආරක්ෂා කිරිමට මට කිසිවෙකු පසුපස හබා යාමට අවශ්‍ය නොවන බවත් පහල ඇති මාගෙ 2018 දක්ශතා පුවරුවේ එය මනවින් පිලිබිඹු වන බවත් මෙයින් දන්වා සිටිමි. එමෙන්ම අපහාස කිරිමට එල්ල කරන චෝදනා සාක්ශි සහිත ව ඉදිරිපත් කරන ලෙසටත් අවනතව ඉල්ලා සිටිමි. එසේම බිරින්දාවරුන් තමන්ගේ කාර්ය බාර්ය පමණක් කරගන සිටී නම් එය අපට වඩාත් පහසු වන බවත් කාරුණිකව දන්වා සිටිමි." යනුවෙනි.

කෙසේ වෙතත් මෙම මත ගැටුමෙන් පසු ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි එක්දින තරගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනා අතර එහිදි කණ්ඩායමේ නායකත්වය ඉසිලූ ලසිත් මාලිංග සිදු කළ ක්‍රියාවක් විචාරකයන්ගේ දැඩි මවිතයට ලක් වූවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පන්දු වාර යැවීමේ විශේෂඥයා වන ලසිත් මාලිංග සිය පන්දුවාර දහය 46 වන ඕවරය වන විට අවසන් කර ගැනීමට කටයුතු කිරීමයි.

ඉන්පසු 48 හා 50ස් වන අවසන් පන්දු වාර දෙක යැවීමට නායක මාලිංග තිසර පෙරේරාට ලබා දුන්නේය. 

තිසර පෙරේරා ප්‍රසිද්ධ මැද පන්දු වාර යවන අතිරේක පන්දු යවන්නෙකු ලෙස විනා අවසන් පන්දුවාර කිහිපය යොමු කරනා විශේෂඥ පන්දු යවන්නෙකු ලෙස නොවේ. පළමු තරගයේද තිසර පෙරේරා යැවූ 48 වන පන්දුවාරයට ජිමී නීෂම් ලකුණු 34ක් ලබා ගත්තේය. 

එලෙසින් අද තරගයේද 48 සහ 50 වන පන්දුවාර දෙකේදි නවසීලන්තය ලකුණු 34ක් ලබා ගත්තේය. 

කෙසේ වෙතත් ලසිත් මාලිංග එලෙසින් අවසන් පන්දුවාර දෙක තිසර පෙරේරාට ලබා දුන්නේ ඔහුගේ අවසන් පන්දු වාර යැවීමේ දුර්වලතාවය පිළිබඳ නොදැන විය නොහැක. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය පෞද්ගලික විරසකයන් ක්‍රීඩා පිටියට ගෙන යනවා නම් ඉන් පරාජය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ය. අවසානයේ ක්‍රීඩකයන් සිය තරග මුදල් ලබා ගෙන සැහැල්ලුවෙන් විසිර යද්දි අසාධාරණයට ලක්වන්නේ ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන් පමණක් වීම කණගාටුදායක කරුණකි.

තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන,

අවසන් පන්දුවාර තිසර පෙරේරාට ලබා දුන් ලසිත් මාලිංගගේ ක්‍රියාව ක්‍රිකින්ෆො වෙබ් අඩවිය වාර්තා කර තිබූ අයුරු,