Thursday, April 25, 2024

General line - 0115112241

තිසර වසර 23 ක් පැරණි වාර්තාවක් බිද හෙළයි

කසුන් කැලුම්




ශී‍්‍ර ලාංකික පිතිකරුවෙකු එක්දින ඉනිමක වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කරමින් සනත් ජයසූරිය පිහිටුවා තිබූ වාර්තාවක් බිද හෙළීමට තිසර පෙරේරා අද සමත් වුණා. ඒ, සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයේදී හයේ පහර 13 ක් එල්ල කරමින්.

ඒ අනුව 1996 වසරේ පාකිස්තානයට එරෙහිව හයේ පහර 11 ක් එල්ල කරමින් සනත් ජයසූරිය පිහිටුවා තිබූ වාර්තාව අද බිද වැටුණා. කෙසේවෙතත් අද පැවති මෙම තරගයේදී ලකුණු 21 ක ජයක් වාර්තා කළේ නවසීලන්ත කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදි කඩුළු 7 ක් දැවී ලකුණු 319 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර 46.2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 298 ක් පමණයි.  

මෙම තරගයේදී සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ තිසර පෙරේරා සිය මංගල ශතකය වාර්තා කළේ නවසීලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිතිප‍්‍රහාරයක් දියත් කරමින්. තිසර පෙරේරා ශී‍්‍ර ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යන විට ඔහු පන්දු 74 කදී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 140 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 13 කින් සහ හතරේ 8ක් ඇතුළත් වුණා. තිසර පෙර්රා සිය මංගල ශතකය වාර්තා කළේ පන්දු 57 කින්.

සනත් ජයසූරියගෙන් පසු අඩුම පන්දු සංඛ්‍යාවකින් ශතකයක් වාර්තා කළ කී‍්‍රඩකයා වන්නේද තිසර පෙරේරායි. තිසර පෙරේරා හැරෙන්නට අද තරගයේදී ලකුණු අතරට පිවිසියේ දනුෂ්ක ගුණතිලක පමණයි. ඔහු ලකුණු 71 ක් රැස් කළ අතර සෙසු ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට සාර්ථක වන්නට අද හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව මෙම තරගය ජයගත් නවසිලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ තිසර පෙරේරායි. දෙරට අතර 3 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය ලබන 8 වනදා නෙල්සන්හිදී පැවැත්වීමට නියමිතයි.