Friday, March 29, 2024

General line - 0115112241

සෞදි කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකීමට නව රේගුලාසි පැනවේ

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞදි කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා නව රේගුලාසියක් පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කාන්තාවන්ට අසාධාරණයක් වන පරිදි මෙතෙක් පැවැති දික්කසාද වීමේ හැකියාව සංශෝධනය වනු ඇති. 

සෞදිය තුළ ස්වාමිපුරුෂයෙකුට සිය භාර්යාවගෙන් දික්කසාද වීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ ඇයව දැනුවත් නොකොට දික්කසාද වීමේ අවස්ථාව මේවනවිට පවතිනවා. එම ක‍්‍රමය හැඳින්වූයේ ‘‘සීක‍්‍රට් ඩිවෝස්’’ ක‍්‍රමය ලෙසයි.  එහෙත් නව රෙගුලාසියට අනුව අද සිට සෞදියේ පිරිමි පුද්ගලයෙකු සිය බිරිඳගෙන් දික්කසාද වන්නේ නම් ඒ පිළිබඳ දුරකතනය හරහා කෙටි පණිවිඩයක් යොමු කර සිය භාර්යාව දැනුවත් කළ යුතු වනවා. 

පූර්ව දැනුම්දීමක් නොකර සිය ස්වාමි පුරුෂයා විසින් දික්කසාද කළ කාන්තාවන් රැසක් සෞදි අධිකරණයන් හමුවේ අභියාචනා ගොනු කර තිබුණා. 
එම අභියාචනා සලකා බලා අධිකරණය ලබා දුන් නිර්දේශ අනුව සෞදි රජය අද (06) සිට මෙම නව රෙගුලාසිය කි‍්‍රයාත්මක කරනු ඇති. 

කාන්තාවන් සම්බන්ධයෙන් සෞදි අරාබිය තුළ දැඩි නීති පද්ධතියක් කි‍්‍රයාත්මක වුවත් ඔටුන්න හිමි සල්මාන් කුමරු, කාන්තාවන්ට අදාළ නීති කිහිපයක්ම ලිහිල් කිරීමට කටයුතු කළා. කාන්තාවන් හට රිය ධාවනයට අවස්ථාව ලබා දීම, රැුකියාවල නිරත වීමට අවස්ථාව ලබා දීම හා පාපන්දු තරග නැරඹීමට අවස්ථාව ලබා දීම ඒ අතරට අයත්. 

එහෙත් තවමත් සෞදි කාන්තාවන් හට තමන්ගේ භාරකාර පුරුෂයාගේ අවසරයකින් තොරව විදෙස් ගමන් බලපත‍්‍ර ලබා ගැනීම,  විදෙස්ගත වීම, විවාහ වීම, බැංකු ගිණුම් විවෘත කිරීම හා ව්‍යාපාර කටයුතු වල නිරත වීම නීතියෙන් තහනම් වනවා.