Saturday, April 20, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ රන් පතලක් කඩා වැටී 30ක් මරුට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්තානයේ බදක්ශාන් ප‍්‍රාන්තයේ පිහිටි රත‍්‍රං පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 30දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් පුද්ගලයින් 07දෙනෙකු අනතුරින් තුවාල ලබා තිබෙනවා. රත‍්‍රං සොයා ගං ඉවුරක අඩි 22ක් පමණ පතුලට හාරා තිබූ පතලක් මෙලෙස හදිසියේ කඩා වැටීමට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

අදාළ පතල කඩා වැටෙන අවස්ථාවේදීත් කැනීම් සිදු කිරීමට ගෙනැවිත් තිබූ යන්ත‍්‍ර මගින් පතලේ කැනීම් කටයුතු සිදු කරමින් සිට තිබෙනවා. අනතුර වාර්තාවීමත් සමග එම ස්ථානයට පැමිණි පුද්ගලයින් විසින් කැනීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 13දෙනෙකු මුදා ගැනීමට සමත්වුණා. ඒ අතර ළමුන්ද සිටින බවයි පැවසෙන්නේ. ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. 

ඇෆ්ගනිස්තානය යනු ඛණිජ සම්පත් බහුල රටක් වුවත්, එහි ඉදි කර ඇති බොහෝ පතල් අනාරක්ෂිත සහ නිසිපරිදි නඩත්තු කටයුතු වලින් තොර බවටයි චෝදනා එල්ල වන්නේ. ඇෆ්ගනිස්තානයේ ගම්මාන ආශි‍්‍රතව වෙසෙන සාමාන්‍ය වැසියන් මෙන්ම තලෙයිබාන් සටන්කාමීන් ද සිය ප‍්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස පතල් කැනීම් කටයුතු සිදු කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.