Friday, March 29, 2024

General line - 0115112241

නමෝ නාරායන මධ්‍යස්ථානයේ අධිපති අත්අඩංගුවට




නමෝ නාරායනාය යන නමින් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ව්‍යාජ වාලම්පුරි අලෙවි කර මුදල් වංචා කිරීමේ චෝදනාවට කීර්ති දිසානායක නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මිරිහාන පොලීසිය විසින්. 

මෙම පුද්ගලයා සිදු කරන වංචාව සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහන දිගින්දිගටම ජනතාව හමුවේ තොරතුරු අනාවරණ කළා. ඒ, ඔහු අලෙවි කරන්නේ ව්‍යාජ වාලම්පුරි බවට අදාළ පිළිගත් ආයතනවලින් ලබා ගත් වාර්තා ද ඉදිරිපත් කරමින්.

කීර්ති දිසානායක නමැත්තා අලෙවි කරන වාලම්පුරි මිලදී ගෙන නෙත් එෆ්. එම්. බැලූම්ගල කණ්ඩායම එහි සත්‍ය අසත්‍යතාව ඔප්පු කර ගැනීම සඳහා ඒවා නාරා ආයතනයට යොමු කළා. එහිදී ද ඔප්පු වූයේ අදාළ වාලම්පුරි ව්‍යාජ ඒවා බවයි. 

නෙත් එෆ්. එම්. බැලූම්ගල වැඩසටහන මගින් සිදු කළ අනාවරණයත් සමග කීර්ති දිසානායක නමැත්තාගේ මෙම වංචාවට හසුවූ ජනතාව ඒ පිළිබඳ මිරිහාන පොලීසියට පැමිණිලි කිරීම සිදු කළා. ඉන් අනතුරුව පොලීසිය ද අදාළ වාලම්පුරි නාරා ආයතනය වෙත යොමු කර ඇත්තේ ඒවායේ නිරවද්‍යතාව ඔප්පු කර ගැනීම සඳහායි. එහිදී ද ඔප්පු වී ඇත්තේ අදාළ වාලම්පුරි ව්‍යාජ ඒවා බවටයි. 

ඒ අනුව කීර්ති දිසානායක නමැත්තාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියේ නිලධාරීන් ඔහුගේ නමෝ නාරායනාය මධ්‍යස්ථානය වෙත ගොස් තිබුණා. 

එහෙත් ඔහු එහි නොසිටි බැවින් අද (07) දිනයේ පොලීසියට පැමිණ කටඋත්තරයක් ලබා දෙන ලෙස දන්වා තිබූ බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ.

ඒ අනුව මිරිහාන පොලීසියට අද පෙරවරුවේ ගොස් ඇති කීර්ති දිසානායක නමැත්තා එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් කටඋත්තර ලබා ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තමන් මහාචාර්යවරයෙකු බවට පවසමින් ව්‍යාජ වාලම්පුරි අලෙවි කර ජනතාවගෙන් මුදල් වංචා කළ කීර්ති දිසානායක නමැත්තා පිළිබඳ නෙත් එෆ්. එම්. බැලූම්ගල සිදු කළ අනාවරණයන් පහතින් දැක්වෙයි.