Friday, April 19, 2024

General line - 0115112241

ලොව ධනවත්ම පුද්ගලයා සිය විවාහය කටු ගාන්න තීරණය කරයි

දිනුක් හේවාවිතාරණ




ලොව ධනවත්ම පුද්ගලයා ලෙස බ්ලුම්බර්ග් බිලියනපති ලැයිස්තුවේ ඉහලින්ම සිටින ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් බේසොස් සහ ඔහුගේ බිරිඳ දික්කසාද වීමට තීරණය කර තිබෙනවා. තමන් ගත් මෙම තීරණය පිලිබදව සිය නිල ට්විටර් ගිණුම හරහා ඒකාබද්ධ නිවේදනයක් මෙම යුවල විසින් නිකුත් කර ඇත.

" වසර 25ක් පුරා පැවති යුග දිවිය අවසන් කිරීමට දෙදෙනාම තීරණය කලත් දෙමව්පියන්, ව්‍යාපාරික කොටස්කරුවන් වශයෙන් ඉදිරියේදී අප එක්ව කටයුතු කරන බව" එම නිවේදනය මගින් බේසොස් යුවල සිය නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටිනවා. මෙම යුවලට දරුවන් සිවුදෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් කුඩාම දරුවා වන දියණිය මිට වසර කිහිපයකට දරුකමට හදා ගැනීමට ලබා ගත් අයෙක් බවයි වාර්තා වන්නේ.

1993 වර්ෂයේදී නිව්යෝර්ක් හෙජ් ෆන්ඩ් සමාගමේ පැවති සම්මුඛ පරීක්ෂණයකදී ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වන ජෙෆ් බේසොස් හට ඔහුගේ බිරිඳ වන මැකෙන්සි මුණගැසී ඇති අතර ඉන් මාස 03 කට පසුව විවාහ ගිවිස ගෙන තිබෙනවා.

1994 වසරේදී ජෙෆ් බේසොස් ඇමේසන් සමාගම ආරම්භ කර ඇති අතර එම සමාගමේ ආරම්භයේ පටන් සැලකිය යුතු කාර්ය භාරයක් සිය බිරිඳ වන මැකෙන්සි ඉටුකළ බව ඔහු මාධ්‍ය ආයතන සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශ කරනු ලැබුවා.

මැකෙන්සි බේසොස් වෘත්තිමය වශයෙන් ලේඛිකාවක් වන අතර ඇමේසන් වෙබ් අඩවිය හරහා ජනප්‍රියවූ Kindle e-book විශේෂාංගය ආරම්භ කිරීමේ පුරෝගාමිත්වය ඇය විසින් සිදුකරනු ලැබූ බව වරක් ජෙෆ් බේසොස් ප්‍රකාශ කර සිටියා.

ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ජෙෆ් බේසොස් ගේ වත්මන් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 137ක් වන අතර එය මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් ගේ වත්කම් හා සැසදීමේදී අමෙරිකානු ඩොලර් බිලියන 45ක් ඉදිරියෙන් සිටින බවයි බ්ලුම්බර්ග් ආයතනය සඳහන් කරන්නේ.