Friday, April 19, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ඇතුළු මාධ්‍ය ආයතන ඉලක්ක කර සිදුකළ විරෝධතාවයේ යටි අරමුණ විපක්ෂ නායක හෙළි කරයි (VIDEO)

රවින්ද්‍ර ලියනගේ




නෙත් එෆ් එම් ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සිවිල් සංවිධාන කිහිපයක් අද (10) දිනයේදී සිදුකරන ලද විරෝධතාවයන් සහ තර්ජණය කිරීම තමන් හෙලා දකින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ගාල්ල මාදම්පේ කුලිගොඩ වනවාසී විහාරයේ අමරපුර ශ්‍රී සද්ධම්ම මහ නිකායේ අනු නායක පදවියේ අක්ත පත්‍ර පිරිනැමීමේ උත්සවයට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියා.

 " අද අලුත් සිද්ධියක් උනා. මේ රට බෙදන ව්‍යවස්ථාවේ නියමයන් පිළිබද යෝජනා ඉදිරිපත් කරන්න යන දවස හෙට. අද NGO කාරයින් කිහිප දෙනෙක් තව කණ්ඩායම් කිහිපයක් එක්ක එකතු වෙලා ගිහිල්ලා නෙත් එෆ් එම් ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකට තර්ජණය කරලා ලියුම් දීලා තියෙනවා. 

මේ කණ්ඩායම ගියපු ඇතැම් මාධ්‍ය ආයතනවල නිළධාරීන් මේ පිරිසට "හු කියලා එලෙව්වා". එක එක මාධ්‍ය ආයතන වලට යනවා කියලා දැනගත් මාධ්‍ය ආයතන මේ අය එනකම් සුදානමින් හිටියා. මොකක්ද මේකෙන් කරන්නේ?

රටේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළා "කලු මාධ්‍ය කියලා". ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙක්ද මේ ගැන පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළා. මේ බලන්නේ පහර දීලා මර්ධනය කරලා හෙට ගේන ව්‍යවස්ථාව ගැන රටේ ජනතාවට නිසි ප්‍රවෘත්ති දැන ගැනීම වළක්වාලීමට මාධ්‍ය ආයතන වලට තර්ජණය කරන්නයි හදන්නේ. 

වසර 30 ක් මේ රටේ ජනතාව යුද්ධයෙන් පිඩා වින්දා. අපි යුද්ධය අවසන් කළා. දැන් අපි සුදානම් රට සංවර්ධනය කරන්න".


මේ අතර කලු ඇදුම් ඇඳ මුහුණු ආවරණය කරගත් පිරිස් මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් විරෝධතා, තර්ජන කරනවාට ආණ්ඩුව විරුද්ධ බවත් අද (10) දිනයේදී කණ්ඩායමක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියට ගොස් කළ විරෝධතාව හෙළා දකින බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

පුවත්පත්වලින් අසාධාරණයක් වී ඇත්නම් ඒ ගැන පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළ හැකි බවද ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. එසේ නොමැතිව ආයතනවලට හිරිහැරයක් වන අයුරින් කටයුතු කිරීම අනුමත නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංවිධාන කිහිපයක් අද දිනයේ මාධ්‍ය ඉදිරියට ගොස්  විරෝධතා පැවැත්වීම පිළිබඳ අදහස් දක්වමින්.