Saturday, April 20, 2024

General line - 0115112241

පළාත් සභා ඡන්දය තවත් කල් යයිද ? මැතිවරණ කොමිසම පක්ෂ සමග සාකච්ඡාවක

හේමන්ත කහවලගේ




පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සදහා ගත හැකි කි‍්‍රයාමාර්ග කිහිපයක් පිළිබද මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදී අවධානය යොමුව තිබෙනවා.

පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා අග‍්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීම ඉන් එක් යෝජනාවකි. එය සිදු නොවන්නේ නම් මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට ගොස් මතය විමසිය යුතු බවටද තවත් යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා. අගතියට පත් පාර්ශවයක් ලෙස හිටපු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් අධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බවයි මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

මේ අතර පළාත් පාලන ආයතන 7 ක කොට්ඨාස 10 ක ජයග‍්‍රාහකයන් ගැසට් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. පූජාපිටිය, තිරුක්කෝවිල්, වෙන්ගඩිචෙට්ටිකෝවිල්, ආණමඩුව, තිරප්පනේ, කැකිරාව සහ මහියංගණය යන ප‍්‍රාදේශීය සභාවල කොට්ඨාස 10 ක එම පුරප්පාඩු පවතිනවා. ඊට හේතුවී ඇත්තේ අදාළ කොට්ඨාස ජයගත් දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් කළ අපේක්‍ෂකයාගේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වී තිබීමයි. 

මේ හේතුවෙන් එම කොට්ඨාස සදහා ජයග‍්‍රාහකයන් මෙතෙක් ගැසට් කර නැහැ. එම ගැටළුව නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්‍ෂවල එකගතා පිළිබදව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.