Friday, April 19, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ඔත්තුකරුවෙක්දැයි සොයා FBI විමර්ශනයක් ඇරඹේ

දිනුක් හේවාවිතාරණ




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් රුසියාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් ද යන්න සම්බන්ධයෙන් එරට ෆෙඩරල් ඔත්තු සේවය (FBI) විමර්ශනයක් ආරම්භ කර ඇති බවට නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කර සිටි.

ඉකුත් 2017 වසරේ මැයි මාසයේදී FBI ඔත්තු සේවයේ අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගැනිමත් සමග එරට බලධාරීන් ජනාධිපතිවරයා ගේ හැසිරීම පිලිබදව දැඩි අවධානයක් යොමු කර ඇති බවයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ.

ජනාධිපති ට්‍රම්ප් ගේ ක්‍රියා කළාපය අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තරජනයක්ද යන්න පිලිබදව මෙම විමර්ශනයේදී ෆෙඩරල් ඔත්තු සේවයේ විමර්ශකයින් සොයා බලමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටි.

2016 දී පැවති ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හට රුසියාවෙන් සහය ලැබුණු බවට FBI ඔත්තු සේවය සැකපළ කර සිටියා. ඒ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සිදුකෙරෙමින් තිබියදී FBI අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ධුරයෙන් ඉවත් කිරීමත් සමග මේ පිලිබදව වන සැකය දැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවී ඇති ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ධවල මන්දිරය දැඩි කණගාටුව පළකර සිටින බවයි BBC පුවත් සේවය පෙන්වා දෙන්නේ. 

ඇත්ත වශයෙන්ම FBI ඔත්තු සේවයේ අධ්‍යක්ෂක ජේම්ස් කොමේ ඔහුගේ ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ ඔහු අනවසරයෙන් සිදුකළ දත්ත පරීක්ෂාවක් හේතුවෙන්, ඒ පිලිබදව එහි නියෝජ්‍ය ප්‍රධානියා පවා දැන සිටියා. ඔබාමා පාලන සමයේදී රුසියාව ඇතුළු විදෙස් රටවල් අමෙරිකාවට එරෙහිව කඳවුරු බදින විට මෙන් නොව ජනාධිපති ට්‍රම්ප් ඔවුන්ට එරෙහිව දැඩිව නැගී සිටියා. මෙම පුවත සම්පුර්ණයෙන් සත්‍ය තත්ත්වය විකෘත්ති කිරීමක් යැයි ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කර සිටියා.