Friday, April 19, 2024

General line - 0115112241

නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු දිවුරුම්දීම ප්‍රමාද වන හේතුව මෙන්න

කසුන් කැළුම්/දිල්ශාන් තුෂාර




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුව සමග එක්වීමට සූදානමින් සිටින බැවින් නියෝජ්‍ය අමාත්‍යධූර සහ රාජ්‍ය අමාත්‍යධූර කිහිපයක දිවුරුම් දීම් ප‍්‍රමාද වී ඇති බව අමාත්‍ය දයා ගමගේ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

"දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තව කණ්ඩායමක් එන්න බලාපොරොත්තු වෙනවා. ඒක කල්පනා කරලා අමාත්‍යධූර දෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන කළබල විය යුතු නෑ. "

දයා ගමගේ මීට පෙර කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. කෙසේවෙතත් පසුව සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පමණක් ඔහුට පැවරීමටයි ජනාධිපතිවරයා තීරණය කළේ.

පසුව ජනාධිපතිවරයා විසින් රවීන්ද්‍ර සමරවීර,  කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා. සිය අමාත්‍යධූරයේ සංශෝධනයක් සිදුවන බව තමන් දැනුවත් වී සිටි බවයි දයා ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේ.  

"දැනට තියෙන පොඩි පොඩි ප්‍රශ්න ඉදිරියේදී ඉවත් වෙයි. ජනාධිපතිතුමාගේ පොඩි පොඩි අමනාපකම් සමහර වෙලාවට තියෙන්න පුළුවන්. ඒ වුණත් එතුමා ඕවා මතක තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. අගමැතිතුමාත් ඕවා මතක තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි."