Tuesday, April 16, 2024

General line - 0115112241

එකම පාසලේ වැඩි කාලයක් සිටි විදුහල්පතිවරු ගැන කැබිනට් මණ්ඩලයෙන් ඒකමතික තීරණයක්




වසර අටකට වඩා එකම පාසලක සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීම සහ වසර ගණනාවක් තිස්සේ ජාතික පාසල් රැසක පවතින ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත් නොකිරීමේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඊයේ (14) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විමසා තිබෙනවා. 

එහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා ඇත්තේ, වසර ගණනාවක් තිස්සේ නිසි ක්‍රමවේදයකට අනුව බඳවාගැනීම් සහ උසස් කිරීම් සිදු නොකිරීම හේතුවෙන් පාසල් පද්ධතිය තුළ මෙම ගැටළුව නිර්මාණය වී තිබූ බවයි.

තමන් විසින් පද්ධතියට නවක ශ්‍රේණිධාරීන් බඳවා ගැනීමට පියවර ගත් බවත්, ඒ සඳහා ගැසට් නිවේදන පළ කොට උසස්වීම් ක්‍රමවත්ව ලබාදෙමින් පුරප්පාඩු සහිත ජාතික පාසල් තනතුරු සඳහා බඳවා ගැනීමට අදාළව සම්මුඛ පරීක්ෂණවලට කැඳවීමට, තමන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඊට සමගාමීව  එකම පාසලක වසර 8කට වඩා සේවය කර ඇති විදුහල්පතිවරුන් මාරු කිරීමට පියවර ගැනීමට තීරණය කර තිබූ බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

නමුත් පසුගිය දින 50 ක කාලය තුළ අදාළ සම්මුඛ පරීක්ෂණ සහ අදාළ කටයුතු රැසක් ඇනහිට තිබුණා. එමෙන්ම ඇතැම් පාසල් කිහිපයක  විදුහල්පතිවරුන් අදාළ ස්ථානමාරුවීම්වලට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයට විවිධ බලපෑම් කරමින් සිටින බවද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

කිසිදු බලපෑමකට යටත් නොවී සෘජුව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමේ වැදගත්කම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ද එය අගය කළ බවද සඳහන් කරනවා.