Friday, March 29, 2024

General line - 0115112241

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් - ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

කසුන් කැළුම්




2014 ආසියානු තරගාවලියේ දී නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ බහරේන ක‍්‍රීඩිකා කෙමි අඩෙකොයා තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වී තිබෙනවා.

බහරේනයේ පුරවැසි බව ලද නයිජීරියානු ක‍්‍රීඩිකාවක වන ඇය 2014 පැවති ආසියානු තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ අවසන් පූර්ව වටයේදී තත්පර 51.11 කින් තරගය නිම කළේ නව ආසියාතික තරග වාර්තාවක් පිහිටුවමින්. ඇය විසින් එහිදී බිඳ දමනු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ දමයන්ති දර්ශා, 2002 වසරේ ආසියානු තරගාවලියේදී තත්පර 51.13 ක දක්ෂතාවක් දක්වමින් පිහිටුවා තිබූ ආසියාතික තරග වාර්තාවයි. 

කෙසේවෙතත් 2018 නොවැම්බර් මස දී මලල කී‍්‍රඩාව විශුද්ධී කරණය සඳහා වූ ඒකකය විසින් බහරේන ක‍්‍රීඩිකා කෙමි අඩෙකොයා තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා ගොනු කළා. එහෙත් ඇයගේ දඬුවම අදාල වන කාල සීමාව තවමත් තීරණය කර නැහැ. යම් හෙයකින් 2014 ආසියානු තරගාවලිය දක්වා කෙමි අඩෙකොයාගේ ජයග‍්‍රහණ අවලංගු කළහොත් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩිකා චන්ද්‍රිකා සුභාෂිණී රස්නායකට ආසියානු තරගාවලියේ ලෝකඩ පදක්කම හිමි වීමේ අවස්ථාවක් පවතිනවා. 

අවසාන තරගයේ කෙමි අඩෙකොයා රන් පදක්කම දිනාගන්නා විට වියට්නාම සහ ඉන්දීය ක‍්‍රීඩිකාවන් දෙදෙනාට පසු පසින් සිව්වැනි තැන දිනාගත්තේ චන්ද්‍රිකා සුභාෂිණී රස්නායකයි. 

කෙසේවෙතත් තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින බහරේන කී‍්‍රඩිකාවගේ 2014 ආසියානු තරගාවලියේ මීටර 400 රන් පදක්කම අවලංගු කළහොත් ඇය විසින් බිඳ දැමූ දමයන්ති දර්ශාගේ ආසියානු තරගාවලි වාර්තාවට එමගින් බලපෑමක් සිදු වන්නේ නැහැ. එම වාර්තාව නැවතත් දමයන්ති දර්ශාගේ නම ඉදිරියෙන් සටහන් නොවන අතර 2014 ආසියානු තරගාවලියේ මූලික වටයේ දී පිහිටවනු ලැබූ තරග වාර්තාව 2018 ජාකර්තා ආසියානු තරගාවලියේදී ද බහරේන ක‍්‍රීඩිකාවක් විසින්ම බිඳ දැමීම ඊට හේතුවයි.