Friday, April 26, 2024

General line - 0115112241

සිනමා පටයක මෙන් කෙන්යාවේ ත්‍රස්තවාදීන් මෙල්ල කළ සුපිරි වීරයා

දිනුක් හේවාවිතාරණ




කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි සුපිරි සංචාරක හෝටලයකට පසුගිය අඟහරුවාදා එල්ලවූ " අල්-ෂබාබ් ත්‍රස්තවාදී" ප්‍රහාරයේදී හෝටලය තුල සිටි ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට සහ ත්‍රස්තවාදීන් 05 දෙනෙක් ගෙන් යුත් කණ්ඩායම මරා දැමීමට ඉදිරිපත් වූ මෙම විදෙස් හමුදා නිළධාරියා ගැන විදෙස් මාධ්‍ය වාර්තා ඉහළින් වාර්තා කර තිබුනා.

ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරීමට නොහැකි වුවත් එම නිළධාරියා බ්‍රිතාන්‍ය විශේෂ බලකායට (SAS) අයත් බවත් කෙන්යානු ආරක්ෂක අංශ වලට හෝටලය තුලට පිවිසීමට නොහැකිව සිටියදී මෙම නිළධාරියා සිය ජීවිතය ගැන නොසිතා සටනට පිවිසි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙන්යානු හමුදා භට පිරිස් පුහුණු කිරීම සඳහා එරටට ගොස් සිටි මෙම බ්‍රිතාන්‍ය විශේෂ බලකායට අයත් හමුදා නිළධාරියා නොවන්නට නයිරෝබි නුවර පිහිටි සුපිරි සංචාරක හෝටලයේ සිටි බොහෝ සංචාරකයින්ගේ ජිවිත අවදානමකට ලක්වන්නට ඉඩ තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

නයිරෝබි නුවර පිහිටි හෝටලය ඉලක්ක කර ගනිමින් එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 21 දෙනෙක් මිය ගිය අතර ඒ අතර බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු ජාතිකයින් දෙදෙනෙක් ද විය.

හෝටලයට ඇතුල් වීමට පෙර කාර් බෝම්බයක් පුපුරුවා හරිමින් ත්‍රස්තවාදින් සිය ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවත් එම අවස්ථාවේදී හෝටලය තුල දෙස් විදෙස් සංචාරකයින් රැසක් සිට ඇති බව වාර්තා වන්නේ.

මේ අතර මෙම ප්‍රහාරයේදී මියගිය අමෙරිකානු ජාතිකයා 2001 වසරේදී අල් කයිඩා ත්‍රස්තවාදීන් විසින් නිව් යෝර්ක් හි පිහිටි ලෝක වෙළද මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් දිවි බේරා ගනු ලැබූ පුද්ගලයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.