Friday, April 19, 2024

General line - 0115112241

ලෝක කුසලානේ ටිකට් හොර පාරේ විකිණෙයි : ඇතැම් ටිකට් පතක මිල මිලියන 2ක ඉක්මවයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




මැයි මස 30 වෙනිදා සිට එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර විකිණීම් සිදුකරනු ලබන නිත්‍යානුකුල නොවන වෙබ් අඩවි වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට තරග සංවිධායකවරුන් පියවර ගන්නා බව BBC පුවත් සේවය වාර්තා කරනවා. 

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සංවිධායකවරුන් සඳහන් කරන්නේ ඇතැම් තරග සඳහා විකුණා ඇති ප්‍රවේශ පත්‍රයක මිල බ්‍රිතාන්‍ය පවුම් 12,000 ද ඉක්මවන බවයි.

එංගලන්තය සහ ඉන්දියාව අතර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත තරගයේ ප්‍රවේශ පත්‍ර එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ ප්‍රවේශ පත්‍රයක් Viagogo නම් වෙබ් අඩවියක් විසින් පවුම් 12,000 කට අලෙවි කර ඇති බවයි තරග සංවිධායකවරුන් සඳහන් කරන්නේ. ප්‍රවේශ පතේ නියමිත වටිනාකමට අනුව මෙම වෙබ් අඩවිය 104 ගුණයකින් මිල වැඩි කොට මෙලෙස ප්‍රවේශ පත් අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලාන තරග සංවිධායක කමිටුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මෙලෙස නිත්‍යානුකුල භාවයෙන් තොරව ප්‍රවේශ පත්‍ර අලෙවි කරනු ලබන වෙබ් අඩවි වලට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥවරුන්ගේ සහය දැනටමත් ලබා ගෙන ඇති බවයි.

බ්‍රිතාන්‍ය තුල ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා වන ප්‍රවේශ පත් යලි අලෙවිය තහනම් නොවුවත් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය සඳහා නිල වෙබ් අඩවියක් පිහිටුවා ඇති බැවින් ප්‍රවේශ පත් ප්‍රසිද්ධියේ විකිණීම තහනම් කොට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් Viagogo වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ප්‍රවේශ පත් සඳහා තම වෙබ් අඩවිය මිල ගණන් නොතැබූ බවත් ප්‍රවේශ පත්‍ර මිලදී ගත් පුද්ගලයින් සිය වෙබ් අඩවිය හරහා මිල නියම කරමින් අලෙවි කිරීම් සිදුකර ඇති බවයි. වැඩි අවධානයක් යොමුවන තරග සඳහා ඇති ප්‍රවේශ පත් සීමිත බැවින් ඒ සඳහා ගැනුම්කරුවන් අතර තරගයක් ඇති බැවින් මෙලෙස විශාල මිල ගණන් යටතේ ඒවා අලෙවි වන බවයි.

මෙලෙස වැඩි මිලකට ප්‍රවේශ පත් අලෙවි වී ඇත්තේ එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන තරගවල බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

" නිල ප්‍රවේශ පත් වෙබ් අඩවිය හරහා ටිකට් පත් විකිණීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මිට වඩා සැලකිලිමත් විය යුතුයි. මන්ද බොහෝ පිරිස් ප්‍රවේශ පත් මිලදී ගෙන පසුව වැඩි මිලට විකිණීම සිදුකරනවා. එයින් වන්නේ තරග බැලීමට අවශ්‍ය ක්‍රීඩා ලෝලීන්ට වැඩි මිලකට ප්‍රවේශ පත් මිලදී ගැනීමට සිදුවන එකයි. ඒ සම්බන්ධයෙන් ICC ය තමන්ගේ අවධානය යොමු කර යුතු යැයි" ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රවේශ පත් මිලදී ගැනීමට නොහැකිවූ ඇතැම් ක්‍රීඩා ලෝලීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.