Friday, March 29, 2024

General line - 0115112241

'රැඳවියන් බැලීමට පැමිණි කාන්තාවක් නිරුවත් කරයි' අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය ආණ්ඩුකාරවරයාගේ අවදානයට!




අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසා දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට අමාත්‍යවරිය ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සතුටට පත්වන බව එහි සදහන් කර තිබේ. බන්ධනාගාර විෂය පළාත් සභාවට අයත් නොවුනද, එවැනි සිදුවීම් යළි ඇති නොවීම සහතික කිරීම අනිවාර්ය වූ අවශ්‍යතාවක් බව එම ලිපියේ දැක්වෙනවා. එම ප‍්‍රහාරයෙන් පීඩාවට පත් රැඳවියන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඒ සම්බන්ධයෙන් විශේෂඥතාවක් ඇති පිරිසක් තමන් විසින් යොදවා ඇති බව ද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා යොමු කළ ලිපියේ සඳහන් වනවා.

රැඳවියන් නිරන්තරයෙන් නිරුවත් කොට පරීක්ෂා කිරීම, රැඳවියන් වෙත ලැබෙන ආහාර පරිභෝජනය කළ නොහැකි තත්ත්වයට පත් වන අයුරින් පරීක්ෂා කිරීම, රැඳවියන් බැලීමට පැමිණි කාන්තාවක් නිරුවත් කර පරීක්ෂා කිරීමේ සිදුවීමකින් පසුව රැඳවියන් බැලීමට පැමිණෙන කාන්තාවන් සැලකිය යුතු ලෙස අඩුවීම වැනි කරුණු තමන් වෙත වාර්තා වී ඇති බව ද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා. 

ඉකුත් නොවැම්බර් 22වනදා සිදුවූ පහරදීමට ආසන්නතම සිදුවීම වී ඇත්තේ රැුඳවියන් බැලීමට පැමිණි කාන්තාවක් නිරුවත් කොට පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඊට විරෝධය පළ කරමින් එම බන්ධනාගාරයේ රැුඳවියන් පිරිසක් කුළුණක් මත නැග විරෝධය පළ කිරීම බව ද අදාළ ලිපියේ සඳහන්. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් විධිමත් පරීක්ෂණයකින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා, අමාත්‍ය තලතා අතුකෝරලගෙන් ඉල්ලා තිබෙනවා.