Tuesday, April 16, 2024

General line - 0115112241

මාවනැල්ලේ බුදු පිළිම කැඩීම දුර දිග යයි - සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක තොගයක් සොයා ගනියි

හේමන්ත කහවලගේ




මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන්ගෙන් මේ දිනවල ප්‍රශ්න කරමින් පවතිනවා. මෙම සැකකරුවන් ප්‍රශ්න කරන ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙම කල්ලියට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට මෙම ගැණුනු සැකකරුවන්ගෙන් ලද තොරතුරු වලට වනාතවිල්ලූව ලැක්ටෝවත්ත ප‍්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100කට ආසන්න ප‍්‍රමාණයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.

එම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ගොවිපොළක සූක්‍ෂම ලෙස සගවා තිබියදීයි. සොයා ගැණුනු පුපුරණ ද්‍රව්‍ය වර්ගය කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නැහැ. 

අක්කර 60 ක පමණ විශාලත්වයෙන් යුත් පොල්වත්තක මෙසේ වළ දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනු ලැබූ මෙම පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ට අමතරව ඩෙටනේටර් 100ක්, නයිට්‍රේට් ඇසිඩ් ලීටර් 120ක් (ලීටර් 20 බැගින්වූ කෑන් 6ක්),  පතොරම් තුවක්කුවක්, පතොරම් තොගයක්, සති කිහිපයකට සරිලන වියළි ආහාර සළාක, කුඩාරම් 02ක්, ලැප්ටොප් කම්පියුටර් ඇතුළු විද්‍යුත් කැමරා ඇතුළු උපකරණ කිහිපයක්ද හමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදුකරනවා.