Tuesday, April 23, 2024

General line - 0115112241

Helawood Popcorn බ්ලොග් අඩවිය එළි දකියි




මෙරට සිනමාව වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවක් ඉටුකරමින් HELAWOOD POPCORN නමින් බ්ලොග් අඩවියක් හඳුන්වාදීමට PEO TV ආයතනය කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් යෙදෙන නිෂ්පාදකවරු, අධ්‍යක්‍ෂවරු, නළු නිළියන්, අනෙකුත් සිනමා ශිල්පීන්, විචාරකයන් සහ රසිකයන් යන සියළුදෙනාට විවෘත වන HELAWOOD POPCORNල හෙළ සිනමාවේ තුන්කල් දකින වේදිකාවක් බවට පත් කරමින් එය මෙරට සිනමා කලාවේ ප්‍රගමනය වෙනුවෙන් දායක කර ගැනීම PEO TV හී අදහසයි.

‘HELAWOOD POPCORN – අපේ සිනමා කථාව’ යන නමින් ජනවාරි 23 වැනි බදාදා පස්වරු 3.30ට ජාතික චිත්‍රපටි සංස්ථා, ‘තරංගනී’ ශාලාවේ පැවැත්වෙන සිනමාවේ තුන් කාලය පිළිබඳ කථාබහක් සමගින් අදාළ වෙබ් අඩවිය දියත් කිරීමට PEO TV කටයුතු යොදා තිබේ.

ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපතිතුමන් ප්‍රමුඛ මෙරට සිනමාව හා සම්බන්ධ සියළු පාර්ශ්වයන් මෙම කථාබහට එක්වනු ඇති අතර මෙරට සිනමාවේ ගමන සම්බන්ධයෙන් ඉතා අගනා කථාබවක් බවට පත්වීමට නියමිත මෙම අවස්ථාවට සහභාගී වන ලෙසින් හෙල සිනමාවට ආදරය කරන ඔබටද PEO TV ආයතනය විවෘත ආරාධනා කර සිටියි.

‘PEO TV සේවාව හෙළ සිනමාව සමග ඉතාම සමීපව බැඳී සිටිනවා. එදා මෙදා තුර මෙරට නිපදවූ චිත්‍රපට රාශියක එකතුවක් PEO TV සතුව තිබෙනවා. මෙරට සිනමාවට හදවතින් සමීප PEO TV ආයතනය ඒ වෙනුවන් කළ යුතු සත්කාරයක් ලෙසිනුයි මෙම HELAWOOD POPCORN දියත් කරන්නේ. මෙයට වසර 2කට පෙර එදා අප මෙරට සිනමාවේ අසහාය චරිතයක් වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වමින් එතුමා ජීවමානව සිටියදී ඒ යුතුකම කරන්නට PEO TV වෙත හැකිවුනා. අපි සිනමා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් සමග සමීපව කටයුතු කරනවා. කථා බහ කරනවා. මෙවැනි බ්ලොග් අඩවියක අවශ්‍යතාව ගැන අදහස අපට ඉදිරිපත් වෙන්නේ සිනමා ක්‍ෂේත්‍රයෙන්මයි. සිනමාව සම්බන්ධයෙන් ඒ ඒ පිරිස් ඒ ඒ තැන්වල තම තමන්ගේ අදහස් දැක්වීම වෙනුවට ඒ සියල්ල එකම වේදිකාවක කථා බහට ලක්වෙනවා නම් අපේ සිනමාවේ නිසි දිශානතීන් සොයැගැනීමට එය හේතුවක් වේවි. මේ කටයුත්ත සම්බන්ධයෙන් සිනමා ක්‍ෂේත්‍රය තුළ ඉහළ උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. මෙරට සිනමා කර්මාන්තය වෙනුවෙන් ඉහළින් දායක වූ සහ දායක වන සමහරෙක් මේ වන විටත් මෙම බ්ලොග් අඩවියට ලිවීමේ කටයුතු සඳහා සූදානම් වෙනවා. එදා මෙදා තුර සිනමාව පිළිබඳ බෙහෝ දෙනෙක් නොදැන සිටි කථා මෙන්ම, සිනමාව සම්බන්ධයෙන් දැනගත යුතු කථා රැසක් මෙහි අන්තර්ගත වේවී. මෙරට සිනමාව සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ තීන්දු තීරණ ගැනීමට මෙන්ම පුද්ගලික අංශයේ දායකත්වයටත් HELAWOOD POPCORN මගින් ඉතාම හොඳ අදහසක් ගැනීමට හැකිවේවි. ඒ වගේම අද වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සාධනීය චිත්‍රපට විචාරවල යෙදෙන, නමුත් ඒ වෙනුවෙන් ජාතික මට්ටමේ මාධ්‍යයක් නොමැති වූ අප්‍රසිද්ධ විචාරකයන්ට මෙන්ම ප්‍රවීන චිත්‍රපට විචාරකයන්ටත් සිය සාධාරණ විවේචන සඳහා මෙය ජාතික මට්ටමේ වේදිකාවක්, මාධ්‍යයක් බවට පත්වේවී’ යැයි මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී PEO TV ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත්න මහතා පැවසීය.

PEO TV ආයතනය මෙරට සිනමාව සමග ඉතා සබැඳිව කටයුතු කරන අතර PEO TV හී මෙම වසරේ දින දසුන සකස්වී ඇත්තේ ද මෙරට සිනමාවේ අවදි 12ක් ඒ ඒ මාසවලදී නිරූපනය වන අයුරේ ගැඹුරු හැදෑරීමක් ඇසුරිනි.