Thursday, April 25, 2024

General line - 0115112241

උතුර දකුණ යා කළ තරුණ තරුණියෝ (PHOTOS)




උතුර දකුණ යාකරමින් තම සහෝදරත්වයේ දෑත් යාකෙරෙන ජාතික යොවුන් තෛයිපොංගල් උළෙල මෙවරත් උත්කර්ශවත් අන්දමින් ත්‍රිකුණාමලය තඹලගමුව ආදි කොන්නේෂ්වරම් දේවස්ථානය හා තඹලගමුව විද්‍යාලීය ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණා. 

තරුණ තරුණියන් රැගෙන කොළඹ කොටුවෙන් පිටත්වූ සංහිදි‍යාවේ රේල්ලුවට ගම්පහ, පොල්ගහවෙල, කුරුනෑගල, මහව, ගල්ඔය යන දුම්රිය ස්ථානවලින්ද තරුණ තරුණියන් දහසකට වැඩි පිරිසක් එක්ව සිටියා. 

මෙසේ පැමිණෙන තරුණ පිරිස තඹලගමුව දුම්රිය ස්ථානයේ දී උණුසුම් ලෙස පිළිගැනීමට ත්‍රිකුණාමලය යෞවන සමාජ සම්මේලය හා දමිළ තරුණ ප්‍රජාව පියවර ගෙන තිබුණා.

දමිළ සංස්කෘතික අංගවලින් එය  විචිත්ත්‍රවත් වූ අතර විශේෂ රුක්රෝපන වැඩ සටහනක් ද පැවැත් වුණා. එහිදී සෑම කෙනෙකු‍ගේම ප්‍රාර්ථනාව බවට පත්වූයේ ජාතික සමගිය හා සාමය සැමදා මෙසේ පවතීවා යන්නයි.

නෑගම් පැමිණි තරුණ පිරිස තඹලගමුව ගම්මානයේ දමිළ තරුණ තරුණියන්ගේ නිවෙස්වල එදින රාත්‍රී නේවාසික වූයේ තවත් නවමු අත්දැකීමක්ද ජිවිතයට එක්කර ගනිමින්. 

ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ හා ප්‍රදේශයේ දේශපාලඥයන්ගේ ද ප්‍රධානත්වයෙන් සමාරම්භ උළෙලක් හා ප්‍රදේශයේ පාසල්වල, හා සංස්කෘතික කණ්ඩායම්වල විශේෂාංග ගණනාවක් මෙහිදී ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණා.