Friday, March 29, 2024

General line - 0115112241

අලුත් නායකයෙක් සමග ක්‍රිකට් කණ්ඩායම අලුත් වෙයි

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායකත්වයේ යළිත් වෙනසක් සිදුවනු ඇතැයි ක‍්‍රිකට් ආරංචි පවසනවා.

නව ටෙස්ට් නායකයා ලෙස ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පත් කරනු ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

ඒ අනුව දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරග 02දී දිමුත් කරුණාරත්න ශ‍්‍රී ලංකා සංචිතයේ නායකත්වයට පත්කර ඇති බවද වාර්තා වනවා.  

ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් තරග සංචාරයට එක්වූ පිතිකරුවන් කිහිපදෙනෙකු ද දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතර දිනේෂ් චන්දිමාල්, රොෂේන් සිල්වා සහ සධීර සමරවික‍්‍රම යන ක‍්‍රීඩකයින් ද සිටින බව සඳහන්. ඔවුන් වෙනුවට පළමු පෙළ තරගවල දක්ෂතා අතර සිටින ඇන්ජලෝ පෙරේරා, මිලින්ද සිරිවර්ධන, කෞෂාල් සිල්වා සහ උපුල් තරංග ද දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරග සංචාරයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් ශිරාජ් ද ශ‍්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව සඳහන්.  

මේ අතර දිනේෂ් චන්දිමාල් තාවකාලිකව ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් ඉවත් වීමට ද තීරණය කර ඇතැයි ද වාර්තා වනවා. ඒ, සිය පිතිකරණ දුර්වලතා මගහරවා ගැනීමේ අරමුණින්. 

දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකු තමන් එම සංචාරයෙන් ඉවත් කළේ මන්දැයි ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා ඇති බවට ද වාර්තා පළ වනවා. පළමු පෙළ තරගවල දක්ෂතා දක්වා යළි ජාතික කණ්ඩායමට පැමිණෙන ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් එම ක‍්‍රීඩකයාට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.