Wednesday, April 24, 2024

General line - 0115112241

මදූෂ් ඇතුළු සැකකරුවන් කණ්ඩායම් දෙකකට වෙන් කරයි - පරීක්ෂණවලින් පසු එක් කණ්ඩායමක් එවන්න සූදානම් (PHOTOS)

හේමන්ත කහවලගේ




ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් රුධිර පරීක්‍ෂාවකට යොමුකර තිබෙනවා.

එම සැකකරුවන් අල් රෆා පොලීසියට රැගෙන ඒමෙන් පසු අල් රෆාහි රෝහලකදි රුධිර පරීක්‍ෂාවකට යොමුකර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා එලෙස රුධිර පරීක්‍ෂාවකට යොමුකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා. එම පරීක්‍ෂාවේදී සැකකරුවන් අතර සිටින යම් අයෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අනාවරණ වුවහොත් ඔවුන් මෙරටට ගෙනඒමේ හැකියාවක් නොලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

ඒ, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන්ට එරෙහිව එරට නීතිය යටතේ ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවීම හේතුවෙන්. පාතාල කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධ අයෙකු වුවද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන චෝදනා නොමැති නම් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.

මදූෂ් ඇතුළු පිරිස මේ වනවිට අල් රෆා සහ මුරකාබාද් යන පොලිස් ස්ථානවල රඳවා සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලින් අනතුරුව ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වයන් සලකා බලනු ඇති. 

මේ අතර අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයට පැමිණ ඇත්තේ ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් බවද හෙළි වී තිබෙනවා. මෙරට පුද්ගලයෙකුට අයත් විදෙස් ගමන් බලපත‍්‍රයක් සහ පාකිස්තාන විදෙස් ගමන් බලපත‍්‍රයක්ද ඔහු සතුව ඇති බවයි වාර්තා වන්නේ. 

මාකදුරේ මදූෂ් මීට පෙර අවස්ථා දෙකකදීද ඩුබායි රාජ්‍යයේදී මෙවැනි සාද පවත්වා ඇති අතර එම අවස්ථාවලදීද මෙරට කලාකරුවන් කිහිපදෙනෙකු එම සාදවලට එක්වී ඇති බවටයි තොරතුරු අනාවරණ වුණේ.

එමෙන්ම මීට පෙර ඩුබායිහි පැවති සාදවලට එක්වූ කලාකරුවන්ට මුදල්වලට අමතරව මාකදුරේ මදූෂ් විසින් නවීන පන්නයේ ජංගම දුරකතන ඇතුළු වටිනා ත්‍යාග ද පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.  

මේ අතර මාතර වැලිගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු වන  සන්ෂයින් සුද්දා නමින් හඳුන්වන පුද්ගලයෙකුද සැකකරුවන් අතර සිටින බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.