Friday, April 19, 2024

General line - 0115112241

මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි - ගෝඨාට එරෙහි නඩුව විභාගයට ගැනීමට නියෝග

අධිකරණ වාර්තාකරු




ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට එම නඩුව විභාගයට ගැනීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (11) නියෝග කළා.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව  නඩුවෙන් ඉදිරිපත් කර ඇති චෝදනාවලට වැරැදිකරුවන් ද නිවැරැදිකරුවන් ද යන උත්තරවාදය ලබා ගැනීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළා. කෙසේවෙතත් නඩුවේ හයවන විත්තිකරු වන මහින්ද සාගල නැමැත්තා ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත වී ඇති බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා තිබෙනවා.

සියලුම විත්තිකරුවන්ගේ උත්තරවාදය එකවර ලබා ගැනීමට අවශ්‍ය බැවින් නඩුව පෙබරවාරි මස 22 ට කල් තැබීමට අධිකරණය තීරණය කළා.

විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය අද දින විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ  විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කළා.

මෙම නඩුව ත්‍රිපුද්ගල  මහාධිකරනයේ විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවටත් ගොනු කර ඇති අධි චෝදනා විභාග කිරීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවටත් පවසමින්  ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කර තිබුණා.

කෙසේවෙතත් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය අධිකරන සංවිධාන (සංශෝධිත) පනත තුළින් ස්ථාපිත කර ඇති බවත් නීතිපතිවරයා විසින් නඩු පැවැරිම සිදු කරුණු ලබන්නේ අගවිනිසුරුවරයාගේ අනුමැතිය ද ඇති බව නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සම්පත් අබේකෝන් ප්‍රකාශ කළා. ඒ අනුව අගවිනිසුරුවරයාගේ විධානයක් අනුව ගොනු කර ඇති මෙම අධිචෝදනා සම්බන්ධයෙන් මෙම අධිකරණයට අභියෝග කිරීමේ හැකියාවක් නොමැති බවට ත්‍රිපුද්ගල මහාධිකරණය අවධාරණය කළා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී, කේමින්ද ආටිගල, ඒබ්‍රහම් ගලප්පත්ති සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය අද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටියා.