Friday, April 19, 2024

General line - 0115112241

රට වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් ආරාධනාවක් : ගස් කපන පුද්ගලයින්ටත් නව නීතියක්




මෙම වසර මෙරට ආරථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ථ රාජ්‍ය සේවයට අද (11) ආරාධනා කළා. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති විශේෂ සමුළුවක් අමතමින්. එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ සියයට 03ක්, 04ක් වැනි අඩු මට්ටමක පවතින මෙරට ආර්ථික වර්ධන වේගය දේශපාලන කරුණු හේතුවෙන් තවදුරටත් මෙම වසරේදී පහළ වැටුනහොත් රටක් ලෙස නැගී සිටීමට එය කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බවයි. 

මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් කිසිවිටෙකත් රටේ සංවර්ධනය සහ මහජන සේවාවන් අඩපණ නොවිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.

මේ අතර ගස් කැපීමට භාවිත කරන කුඩා ප‍්‍රමාණයේ චේන්ෂෝ යන්ත‍්‍රයේ සිට විශාල ප‍්‍රමාණයේ යන්ත‍්‍ර දක්වා සියලූ යන්ත‍්‍රවලට අනිවාර්යයෙන්ම බලපත‍්‍රයක් ලබා ගත යුතු බවට වූ නව චක‍්‍රලේඛයක් නිකුත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. ඒ අනුව එවැනි යන්ත‍්‍ර ලග තිබෙන පුද්ගලයින් පෙබරවාරි 15වනදා සිට මාර්තු 01වනදා දක්වා කාලය තුළ එය ලගම ඇති පොලීසියට වාර්තා කළ යුතු වනවා. 

සෑම පොලිස් ස්ථානයක්ම තම බල ප‍්‍රදේශය තුළ එවැනි යන්ත‍්‍ර ලග තිබෙන පුද්ගලයින් පිළිබඳ නාමලේඛණයක් පවත්වා ගෙන යා යුතුයි. ඒ අනුවයි අදාළ යන්ත‍්‍ර සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමට පියවර ගැනෙන්නේ. බලපත‍්‍රයක් නොමැතිව එවැනි යන්ත‍්‍ර පරිහරණය කරන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.