Thursday, April 25, 2024

General line - 0115112241

මදූෂ් සමග ඇල්ලූ 27දෙනෙකුගේ පරීක්ෂණ අවසන්

හේමන්ත කහවලගේ




මෙරට ප‍්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුළු ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 27දෙනෙකු සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර තිබෙනවා. 

ඒ අතරට මාකඳුරේ මදූෂ්, අමල් පෙරේරා, නදීමාල් පෙරේරා සහ රයන් වැන්රෝයන් ද අයත්.

කෙසේවෙතත් තවත් ප‍්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ අවසන් නොමැති බවයි ඩුබායි ආරංචි මාර්ග සඳහන් කළේ. 

අදාළ සිද්ධිය පාදක කර ගනිමින් වාහන 14ක්ද, ඩුබායි පොලීසිය සිය භාරයට ගෙන ඇතැයි සඳහන්. ඒවා මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස භාවිත කළ ඒවා බවටයි සැලකෙන්නේ. ඒ අතර සුඛෝපභෝගී වාහන රැසක් ද තිබූ බව ඩුබායි ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යේමන් ජාතිකයින් 04දෙනෙකු හා නයිජීරියානු ජාතිකයින් 06දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස ඉකුත් දා අත්අඩංගුවට පත්වූයේ ඩුබායිහි සුපිරි හෝටලයක පැවැති සාදයක් අතරතුරයි. එහිදී අත්අඩංගුවට ගත් පිරිසෙන් කිහිපදෙනෙකුම කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව පසුව අනාවරණ වුණා. 

මේ අනුව එරට නීතිය යටතේ නීති විරෝධී ලෙස මත්පැන් පානය කර ශරීරයේ මද්‍යසාර මට්ටම 10% ක් පැවතියහොත් ඩිරාම් 3000ක දඩයක් සහ මාස 03ක සිරදඬුවමක් පැනවෙනු ඇති.

එසේත් නොමැතිනම් ඉහත දඩුවම් දෙකම සහ පසුව රටින් පිටුවහල් කිරීමටද හැකියාවක් ඇති බවයි වාර්තා වෙන්නේ.