Friday, April 19, 2024

General line - 0115112241

හොර පාරෙන් ලන්ඩන් යන්න හැදු ඉරාක පවුලක් කොටු වෙයි

ටී.කේ.ජී.කපිල - කටුනායක




යුරෝපා සංගමයට අයත් සයිප්‍රස් රාජ්‍යයේ බව හගවන ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පලා යෑමට තැත් කළ ඉරාක ජාතික පවුලක සාමාජිකයන් තිදෙනෙකු අද (15) දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 35 හැවිරිදි පියා සහ 33 හැවිරිදි මව සහ හත් හැවිරිදි දියණිය වන බවයි ආගමන විගමන බලධාරීන් සඳහන් කර සිටියේ.

මොවුන් ඉරාකයේ සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවරට පැමිණ පසුව ඩුබායි වෙත ගොස් එතැන් සිට ඉකුත් 11 වෙනිදා අලුයම 1.30 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවට හෙළිවී තිබේ.

දින කීපයක් ශ්‍රී ලංකාවේ ගත කළ මොවුන් මෙම සයිප්‍රසයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් අද දහවල් 1.05 ට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානය හරහා ගුවන් ගත වීම සදහා ගුවන් යානයට නැගීමේ අවසර පත්‍රද ලබා ගෙන ඇත.
              
එහෙත් වහාම ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොවුන් සතුව තිබූ මෙම ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව හදුනා ගෙන ඔවුන් ගුවන් යානයට ගොඩ වීම වලක්වා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කර සිටියේ.

සිදු කරන ලද විමර්ශන වලදී මොවුන් ශ්‍රී ලංකාවට පැමිණි ඉරාක ගුවන් ගමන් බලපත්‍ර ඔවුන්ගේ ගමන් මලු වල සගවා ගෙන තිබියදී මෙම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබු අතර  බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ගැනීම සදහා මෙසේ පිටත්ව යෑමට පැමිණ තිබූ බවබවට අනාවරණය විය.

කෙසේ වෙතත් මොවුන් තිදෙනා මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය මගින් ලන්ඩන් නුවරට ගෙන ගියේ නම් මොවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 60 ක පමණ දඩ මුදලක් එරට ගුවන් තොටුපළ බලධාරීන් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගෙවීමට සිදු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු වැඩිදුරටත් සදහන් කර සිටියා.