Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දීය හමුදාවට කැමති ඕනෑම දෙයක් කිරීමට අගමැති මෝදිගෙන් නිදහස - ඉන්දීය හමුදාවෙන් පාකිස්තානයට ප්‍රබල ප්‍රහාරයක් ?

ඉරේෂන් සිරිවර්ධන




සමස්ත ඉන්දීය පාලන තන්ත්‍රයම කෝප ගැන්වූ පුල්වාමා ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සම්පූර්ණ නිදහස ඉන්දීය රජය විසින් එරට ආරක්ෂක අංශයන්ට පවරා දී තිබෙනවා.

පසුගිය 14 වෙනිදා ඉන්දීය ආරක්ෂක අංශ සොල්දාදුවන් 42කට මරු කැඳවමින් කාශ්මීර ප්‍රාන්තයේ පුල්වාමා දිස්ත්‍රීක්කයේදී එල්ල වූ කාර් බොම්බ ප්‍රහාරය සමස්ත ඉන්දියාවම දැඩි ලෙස කම්පා කිරීමට සමත් වී තිබේ. පුල්වාමා ප්‍රහාරයෙන් පසු ඉන්දීය ආරක්ෂක කවුන්සලය ඉතා හදිසි රැස්වීමක් කැඳවූ අතර එහිදි මෙම ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පිළිබඳ දැඩිව කතාබහට ලක්ව තිබේ.

මෙහිදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී තීරණය කර තිබෙන්නේ ප්‍රතිප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ඉන්දීය ආරක්ෂක අංශයන්ට පැවරීමටයි. මේ අනුව ඒ සම්බන්ධයෙන් සියලූම තීරණ ගැනීමේ බලය ආරක්ෂක හමුදාවන්ට ලබා දෙන බව ඉන්දීය අගමැතිවරයා පවසනවා. එල්ල කරනා ප්‍රතිප්‍රහාරයේ ස්වභාවය, යොදා ගන්නා අවි බලය, දින හා ස්ථානය ආදී සියල්ල තීරණය කිරීමේ සම්පූර්ණ නිදහස ඉන්දීය හමුදාවන්ට ලැබී තිබෙනවා.

මේ අනුව ඉන්දීය හමුදා විසින් පාකිස්තානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් මතුව තිබෙනවා. පාකිස්තානයේ ක්‍රියාත්මක සටන්කාමීන් පිරිසක් විසින් පුල්වාමා ප්‍රහාරය එල්ල කළ අතර ඒ සදහා පාකිස්තානයේ සම්බන්ධයක් ඇති බව ඉන්දියාව කියා සිටීම මෙයට හේතුවයි. 

සිය සගයන් 40කට අධික පිරිසකගේ ජීවිත අහිමි වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ නොඉවසිල්ලෙන් සිටිනා ඉන්දීය හමුදාව, එරට රජයේ පූර්ණ ආශිර්වාදය මත පාකිස්තානය ඉලක්ක කිරීමේ වැඩි ඉඩක් පවතිනවා. කෙසේ වෙතත් එවැනි ප්‍රහාරයකට න්‍යෂ්ටික අවි භාවිතා කළ යුතු නැති බවට ජාත්‍යන්තර ප්‍රජාවද ඉන්දියාවෙන් ඉල්ලීම් කරමින් සිටියි.

මේ අතර පුල්වාමා ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව අත් කරගත් කාශ්මීරයේ ජීවත් වන මුස්ලිම් ජනතාව ඉන්දීය හමුදාවන්ගෙන් දැඩි ලෙසට පීඩාවට පත්ව තිබෙන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා. පුල්වාමා ප්‍රහාරයෙන් පසුව කාශ්මීරයේ සිවිල් වැසියන්ගේ නිවාස වලට කඩා වැදෙමින් ඉන්දීය හමුදාව සිවිල් වැසියන්ට පීඩා කරමින් සිටීම ජාත්‍යන්තර ප්‍රජාවේ අවදානයට ලක්විය යුතු බව පාකිස්තාන මාධ්‍ය පවසනවා. 

ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර ප්‍රදේශයේ ජනතාවට ඉන්දීය ආරක්ෂක අංශ විසින් පීඩා කරන බවට චෝදනා මින්පෙරද එල්ල වූ අතර ඉන්දීය හමුදාවන් විසින් කාශ්මීරයේ නිරායුද සිවිල් වැසි‍යන් ඝාතනය කීරිම් සහ ස්ත්‍රී දූෂණ සිදුවීම් නිරතුරුවම වාර්තා වුනා.