Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් ලොවේ දැවැන්තයා සිය සමුගැනීමේ දිනය ප්‍රකාශයට පත් කරයි

දිනුක් හේවාවිතාරණ




එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් එක්දින ක්‍රිකට් තරග වලින් විශ්‍රාම ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ප්‍රකාශ කර සිටිනවා. එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රිස් ගේල් ඒ පිළිබදව නිල වශයෙන් තමන් වෙත දැනුම් දෙනු ලැබූ බව ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් සනාථ කර සිටියා.

පුද්ගලික හේතුවක් මත ඉකුත් වසරේදී ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලියෙන් අනතුරුව බටහිර ඉන්දීය කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රිස් ගේල් එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කරන ලද සංචිතයට මේ වන විට ඇතුලත් කර ඇති බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් කියා සිටින්නේ.

බටහිර ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග වලදී වාර්තාගත ශතක 23ක් සමගින් ලකුණු 9,727ක් රැස් කර සිටින මෙම සුපිරි පිතිකරුවා දෙවැනිව සිටින්නේ බ්‍රයන් ලාරාට පමණි. ලාරා එක්දින තරග වලදී සිය රට වෙනුවෙන් ලකුණු 10,405ක් රැස් කර තිබේ. 

එමෙන්ම ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් ගැසූ ශහීඩ් අෆ්රිඩිගේ වාර්තාව සම කිරීමට ක්‍රිස් ගේල් මේ වන විට සමත්ව සිටින අතර. ඔවුන් දෙදෙනාම විසින්  එක්දින සහ විස්සයි 20 තරගවලදී හයේ පහරවල් 476ක් එල්ල කර තිබේ. නමුත් අෆ්රිඩි හට එම දස්කම් දැක්වීමට තරග 524ක් වැයවී තිබුනත් ක්‍රිස් ගේල් හට එම වාර්තාව සම කිරීමට ගතවුයේ තරග 443ක් පමණි.

2015 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ක්‍රිස් ගේල් ලකුණු 205ක් රැස් කිරීමට සමත්වූ අතර මෙතෙක් බටහිර ඉන්දීය කොදෙව් ඉතිහාසයේ පිතිකරුවෙක් එක්දින තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේද එයයි.