Friday, March 29, 2024

General line - 0115112241

40 දෙනෙකුට මරු කැඳවූ කාශ්මීර් ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනා ඝාතනය කරයි

දිනුක් හේවාවිතාරණ




40 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දීය ආරක්ෂක හමුදා රථ පෙළක් ඉලක්ක කොට පුපුරුවා හරිනු ලැබූ අධි බලැති මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන් දෙදෙනා ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව අද (18) සමත්ව තිබෙනවා. ඒ එම ප්‍රහාරය එල්ලවූ පුලාවාමා ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි පින්ග්ලාන් හිදී.

එම ප්‍රහාරය මෙහෙයවූ මහමොලකරු වන කම්රන් සහ බෝම්බය සෑදු ඇෆ්ගනිස්ථාන් ජාතික පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයා වන ගාසී රශීඩ් ඉන්දීය හමුදාව විසින් සිදුකළ මෙහෙයුමේදී ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ජේෂ්-ඊ-මොහොමඩ් ඉස්ලාමිය අන්තවාදී කණ්ඩායමේ ප්‍රධානියා වන මසුඩ් අසාර් ගේ විශ්වාසනියම සගයා වන කම්රන්, කාශ්මීර් ප්‍රාන්තයේ බඳවා ගැනීමේ සහ සටන් පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබූ අය බවට හඳුනාගෙන තිබෙනවා.

ඉකුත් සතියේදී ඉන්දීය ආරක්ෂක හමුදා රථ පෙළට බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබූ ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයින් සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව ඉන්දීය හමුදාව ඊයේ (17) මධ්‍යම රාත්‍රියේදී මෙහෙයුමක් දියත් කර ඇති අතර ත්‍රස්ත සාමාජිකයින් අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී මේජර් වරයෙක් ඇතුළු හමුදාවේ සිවුදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.