Thursday, April 25, 2024

General line - 0115112241

පාකිස්ථාන සිනමා ශිල්පීන්ට ඉන්දියාවෙන් තහනමක්

දිනුක් හේවාවිතාරණ




ඉන්දීය සිනමා කටයුතු සඳහා පාකිස්ථාන නළු නිළියන් සහ ගායක ගායිකාවන් සම්බන්ධ කර ගැනීම වළක්වාලමින් ඉන්දීය සිනමාකරුවන්ගේ සංගමය විසින් වාරණයක් නිකුත් කර තිබෙනවා. එහි ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයට අනුව කිසිදු පාකිස්ථාන සිනමා ශිල්පීන් සහ ගායක ගායිකාවන් සිය සිනමා කටයුතු සඳහා දායක කර ගැනීමෙන් වලකින ලෙස ඉන්දීය සිනමා නිෂ්පාදකයින්ට සහ අධ්‍යක්ෂකවරුන්ට කරුවන්ට දැනුම් දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. 

කාශ්මිරයේදී ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් 40 දෙනෙකුට මරු කඳවමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ඉස්ලාමිය අන්තවාදී සංවිධානයක් වගකිවයුතු බවට ප්‍රකාශ වීමත් සමග ඉන්දීය සිනමාකරුවන්ගේ සංගමය මෙම පියවර ගෙන තිබෙනවා. 

මෙම නියෝගයත් සමග ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් විසින් නිෂ්පාදනය කරනු ලබන "නෝට්බුක්" චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයෙන් අතිෆ් අස්ලම් නම් ජනප්‍රිය පාකිස්තාන ගායන ශිල්පියාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා. මින් පෙර සල්මාන් ඛාන් රඟපෑ "Ek Tha Tiger" ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක පසුබිම් ගායනයට දායකත්වය ලබාදුන් අතිෆ් අස්ලම් ඉන්දිය සිනමාවේ ජනප්‍රියතම ගායකයෙක් වනවා.

මේ අතර අජේ දේවගන් විසින් නිෂ්පාදනය කර ප්‍රධාන චරිතය රගපානු ලබන " 'Total Dhamaal' නම් චිත්‍රපටය පාකිස්ථානයේ තිරගත නොකිරීමට තමන් තීරණය කළ බව ඔහු ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර පුල්වාමා හිදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පළකරමින් ඉන්දිය චිත්‍රපට නිෂ්පාදකයින් සහ නළු නිළියන් විසින් මුබ්බායි හිදී ඊයේ (19) විරෝධතාවයක් පවත්වා තිබෙන අතර එයට අමිතාබ් බච්චන්, හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් වන සුරේෂ් රයිනා , විරේන්ද්‍ර ෂෙවාග් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් එක්ව සිටියා.