Thursday, March 28, 2024

General line - 0115112241

පාකිස්තානයට ඉන්දියාවෙන් අවවාදාත්මක ප්‍රතිචාරයක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝකයා නොමග යවමින් සිදු කරන ප‍්‍රකාශයන් පාකිස්තානය වහාම නතර කළ යුතු බව ඉන්දියාව පවසනවා. කාශ්මීරයේ පුල්වාමා ප‍්‍රදේශයේදී ඉන්දීය හමුදා සෙබළුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (19) ජාතිය අමතා සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඉන්දියාව මේ බව කියා සිටියා.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානය නිදහසට කරුණු ඉදිරිපත් කළද ඒවා පිළිගත නොහැකි බවයි ඉන්දියාව පවසන්නේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. 

ප‍්‍රහාරයේ වගකීම භාර ගත් ත‍්‍රස්ත කල්ලිය පාකිස්තානය තුළ බිහිවූවක් වීම මෙම ප‍්‍රහාරය සඳහා පාකිස්තානය සම්බන්ධ බවට ඉදිරිපත් කළ හැකි හොඳම සාක්ෂිය බවද ඉන්දියාව පෙන්වා දෙනවා. එසේම ප‍්‍රහාරය හෙළා දකිමින් හෝ ප‍්‍රහාරය පිළිබඳ ශෝකය පළ කරමින් අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කිසිඳු ප‍්‍රකාශයක් සිදු නොකරීමට හේතු කුමක් ද යන්නත් ඉන්දියාව, පාකිස්තානයෙන් විමසා සිටිනවා.

එසේම සිය රට අදාළ ප‍්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා ගන්නා බවට එල්ල කරන චෝදනා ද වහාම නවත්වන්නැයි ඉන්දියාව තරයේ ප‍්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.