Wednesday, April 24, 2024

General line - 0115112241

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුත් කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් වෙයි (PHOTO)




වසර 140 ක ඉතිහාසයකට උරුමකම් කියන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවෙක් ක්‍රීඩා කළ ලොව හොදම ටෙස්ට් ඉණිම ලෙස පසුගියදා ඩර්බන් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා (153*) ක්‍රීඩා කළ ඉණිම සටහන්ව ඇති බවට ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මෙතක් ඉතිහාසයේ හොදම ටෙස්ට් ඉණිම ලෙස නම් කර තිබු එංගලන්තයේ ග්‍රැහැම් ගුච් විසින් 1991 වර්ෂයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රැස් කර ගත් ලකුණු 154* ක ඉණිම අභිබවා යාමට ඒ අනුව කුසල් ජනිත් පෙරේරා සමත්ව සිටිනවා.

ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරන්නේ ලොව හොදම ටෙස්ට් ඉණිම සඳහා පිතිකරුවෙක් ගේ ඉණිම තෝරා ගැනීම සඳහා මුලික සාධක 11ක් සලකා බැලීමෙන් අනතුරුව ඒ පිලිබදව අවසන් නිගමනයට එළඹෙන බවයි.

ඒ අනුව 1). අදාළ තරගයේදී පිතිකරුවා රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 2). අදාළ ඉනිමේදී පන්දු යවන්නන් දැක්වූ දක්ෂතාවයන් 3). තණ තීරුවේ සොභාවය 4). කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවට අදාළ ක්‍රීඩකයා දැක්වූ දායකත්වය 5). ටෙස්ට් තරගයේදී සෙසු පිතිකරුවන් ක්‍රීඩා කළ ඉණිම් 21 දී වාර්තාවූ ලකුණු අගයන් 6). අවසන් පිතකරුවන් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 7). පිතිකරු පන්දුවට පහරදීමට පැමිණීමේදී ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට තිබු ලකුණු සංඛ්‍යාව 8). කණ්ඩායමේ කාර්ය සාධනය සඳහා අදාළ පිතිකරුවා දැක්වූ දායකත්වය 9). ප්‍රතිවාදී කණ්ඩායමේ දක්ෂතාවයන් 10). තරගය පවත්වනු ලබන ස්ථානය 11). තරගයේ අවසන් ප්‍රතිපලය, මෙලෙස හොදම ටෙස්ට් පිතිකරණ ඉණිම සම්බන්ධයෙන් තීරණය කිරීමේදී සැලකිල්ලට ගනු ලබන සාධක ලෙස සඳහන්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේ අවසන් ඉණිමේදී කුසල් ජනිත් පෙරේරා අවසන් කඩුලු 5 සඳහා සෙසු පිතිකරුවන් සමග එක්ව ලකුණු 194ක් කණ්ඩායමට ලබාදීමට දායකත්වය දුන් අතර ඉන් අවසන් පිතිකරුවන් දෙදෙනා සමග රැස් කරනු ලැබූ ලකුණු සංඛ්‍යාව 89ක් වනවා.

මෙම තරගයෙන් ශ්‍රී ලංකා පිළ පරාජයට පත්වුවත් කුසල් ජනිත් පෙරේරාගේ ඉණිම ලොව හොඳම ටෙස්ට් ඉණිම් 10 අතරට නිසැකව තේරී පත්වන බව ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරනවා.

එමෙන්ම දකුණු අප්‍රිකාව තුලදී ඔවුන්ගේ පන්දු යවන්නන්ට මුහුණ දීමේදී කුසල් ජනිත් පෙරේරා දැක්වූ විශ්වාසනියභාවය, ඔහුගේ ඉණිම පුරා දැක්වූ උපායශිලිත්වය, අවශ්‍ය අවස්ථා වලදී වේගයෙන් ලකුණු රැස් කරමින් ප්‍රතිවාදී පන්දු යවන්නන් පිඩනයට ලක් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මෙහිදී විශේෂ ඇගයීමකට ලක්ව තිබෙනවා. 

එමෙන්ම අවසන් කඩුල්ල සඳහා කුසල් ජනිත් පෙරේරාට අනගි සහයක් දක්වමින් සිය අන්තය ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කළ විශ්ව ප්‍රනාන්දුගේ ධෛර්යය සහ කැපවීම විශේෂ ඇගයීමකට ලක් විය යුතු බව ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරනවා.