Friday, March 29, 2024

General line - 0115112241

කොකේන් භාවිතා කරනා මැති ඇමතිලාගේ නම් ලයිස්තුව ලියාපදිංචි තැපෑලෙන් සී.අයි.ඩීයට

කසුන් කැළුම්/ දිල්ශාන් තුෂාර




කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. ලියාපදිංචි තැපෑල හරහා අදාළ නම් ලැයිස්තුව එම දෙපාර්තමේන්තුවට යොමුකළ බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක නෙත් නිවුස් වෙත කියාසිටියා.

 

සිද්ධිය පිළිබද පරීක්‍ෂණ ආරම්භ කළයුතු බව පාර්ශව රැසක්ම ඉකුත්දා ප‍්‍රකාශ කර තිබුණා. සිංහලේ ජාතික පෙරමුණද රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය පිළිබද පරීක්‍ෂණයක් සිදුකරන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක්ද සිදුකළා. මේ, එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි.

 

මේ අතර කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට සිදු කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතික පක්‍ෂය විසින් පත් කළ කමිටුව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් අද රැස් වනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක හතේදීයි. 

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකටද අද පෙරවරුවේ එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. මෙම සිව් පුද්ගල කමිටුවට රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආශු මාරසිංහ සහ නීතිඥ නිශ්ශංක නානායක්කාරද ඇතුළත්. ඔවුන් විසින් මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් අද දිනයේදී කරුණු විමසීමට නියමිතයි. අනතුරුව එම කමිටු වාර්තාව එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති.

මේ අතර කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳ ලිඛිතව තමන් වෙත දැනුම් දෙන ලෙසටද කතානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දැනුම් දී තිබෙනවා.  එවැනි මන්ති‍්‍රවරුන් පිළිබඳ ලිඛිතව කරුණු දැක්වුවහොත් පක්ෂ නායකයින් සමග සාකච්ඡුා කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානම් බව කතානායකවරයා ප‍්‍රකාශ කර ඇත.