Saturday, April 20, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානය විස්සයි 20 ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරයි : තරගයක වැඩිම ලකුණු ඇතුළු වාර්තා කිහිපයක් බිඳ හෙළයි

දිනුක් හේවාවිතාරණ




විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් විසින් රැස් කර ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට හිමිකම් කීමට ඇෆ්ගනිස්ථානය අද (23) සමත් විය. ඒ අයර්ලන්තය සමග ඉන්දියාවේ ඩෙහේරා ඩුන් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන දෙවන විස්සයි 20 තරගයේදීය.

මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 278ක්. මෙහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු හසාරට් සාසෙයි පන්දු 62ක් තුලදී නොදැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය. විස්සයි 20 තරගයකදී පිතිකරුවෙක් රැස් කරනු ලැබු දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.

එමෙන්ම හසාරට් සාසෙයි ගේ ඉණිමට හයේ පහරවල් 16ක් ඇතුලත් වූ අතර එය විස්සයි 20 තරගයකදී පිතිකරුවෙක් එල්ල කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව ලෙසයි වාර්තා පොත් අතරට එක් වුයේ. 

ආරම්භක කඩුල්ල වෙනුවෙන් හසාරට් සාසෙයි සහ උස්මාන් ගහානි විසින් ලකුණු 236ක සම්බ්නධතාවයක් පැවැත්වූ අතර එය විස්සයි 20 තරගයකදී වාර්තාවූ ඉහළම කඩුලු සම්බන්ධතාවය ද වනවා.

තරගයේ ආරම්භය පටන්ම ඉතා ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කළ හසාරට් සාසෙයි සිය ශතකය සඳහා රැස් කිරීමට වැය කළේ පන්දු 42ක් පමණක්ය. එය 20-20 තරගයකදී වාර්තා වූ තෙවන වේගවත්ම ශතකය ලෙසයි සඳහන් වන්නේ.

මිට පෙර විස්සයි 20 තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාව (263) ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකා පිළට එරෙහිව 2016 වසරේදී මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී වාර්තා කරනු ලැබුවා. ඇෆ්ගනිස්ථානය විසින් අද බිඳ දැමුවේ එම වාර්තාවයි.

ලකුණු 279 ක ඉලක්කයක් හඹා යන අයර්ලන්ත කණ්ඩායම මේ වන විට පන්දු ඕවර 5ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 55ක් රැස් කර ගෙන සිටිනවා.