Thursday, April 25, 2024

General line - 0115112241

ඓතිහාසික සමුළුව සඳහා උතුරු කොරියානු නායකයා වියට්නාමයට පිටව යයි

දිනුක් හේවාවිතාරණ




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වීමට නියමිත දෙවන සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් ඊයේ (23) රාත්‍රියේදී පිටත්ව ගොස් තිබෙනවා.

වියට්නාමය බලා උතුරු කොරියානු නායකයා රැගත් විශේෂිත දුම්රිය ඊයේ රාත්‍රියේදී චීනයේ දේශ සිමා නගරයක් වන ඩැනොන්ග් වෙත පැමිණි බවත් ඉන් අනතුරුව එහි සිට වියට්නාමය බලා පිටත්ව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉකුත් වසරේ සිංගප්පුරුවේදී පැවති අමෙරිකාව සහ උතුරු කොරියානු නායකයින්ගේ පළමු හමුවීමෙන් පසුව පවත්වනු ලබන දෙවන සමුළුව සඳහා වියට්නාමයේ අගනුවර වන හැනෝයි තෝරා ගනු ලැබුවේ පසුගිය මාසයේදී. 

ආරක්ෂක හේතුන් මත සමුළුව පවත්වනු ලබන ස්ථානය සහ වැඩසටහන් කාල රාමුව පිලිබදව හෙළිදරව් කිරීම ප්‍රමාද කර ඇති අතර පෙබරවාරි මස 27 සහ 28 යන දිනයන් හිදී සමුළුව හැනොයි අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සමුළුවට සහභාගිවීමට අමතරව උතුරු කොරියානු නායකයා විසින් විටට්නාමය සමග හොද හිත ඇතිකර ගැනීමේ සංචාරයක් ලෙස ද මෙය උතුරු කොරියානු රජයේ මාධ්‍ය විසින් වාර්තා කර සිටියා.

මෙම සමුළුව සඳහා වියට්නාමය තෝරා ගනු ලැබුවේ කුමන හේතුවක් මතද යන්න ගැන ලොව පුරා දැඩි කතාබහක් ඇතිවී තිබුනා.

උතුරු කොරියාව මෙන්ම වියට්නාමය ද කමියුනිස්ට් රටවල් දෙකක් වන අතර අමෙරිකා-වියට්නාම යුද්ධයේදී අමෙරිකාවට එරෙහිව වියට්නාමය සමග උතුරු කොරියාව එක්ව ක්‍රියා කරනු ලැබුවා.

නමුත් අමෙරිකාව සමග සාම සාකච්ජා වලට යාම සහ 1970 වසරේදී කාම්බෝජියාව ආක්‍රමණය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් වියට්නාමය සහ උතුරු කොරියාව අතර තිබු හොද හිත පළුදු විය.

කෙසේ වුවත් නව ආර්ථික ප්‍රතිපත්ති වලට අනුගත වූ වියට්නාමය මේ වන විට ආසියාවේ නැගී එන ආර්ථිකයට හිමිකම් කියන රටක් ලෙස සීඝ්‍ර දියුණුවක් අත්කර ගනිමින් සිටියි.

නව ආර්ථික ප්‍රතිපත්ති සහ ආයෝජකයින්ට ඉඩ ලබාදීම තුලින් උතුරු කොරියාවට ලබා ගත හැකි ආර්ථික දියුණුව සම්බන්ධයෙන් නායක කිම් ජොංග් උන් හට යම් විශ්ලේෂණයක් මෙම සමුළුව අතර වාරයේදී ලබා ගැනීමට හැකියාව ඇති කර දීම සහ එයට අවශ්‍ය සාධකයන් පෙන්වා දීමට අමෙරිකාව මින් බලාපොරොත්තු වන බවයි දේශපාලන විචාරකයින් සිය මතය ප්‍රකාශ කරමින් සඳහන් කර සිටින්නේ.