Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකා-උතුරු කොරියා නායකයින්ගේ ඓතිහාසික හමුවට වියට්නාමය සුදානම්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොවම බලා සිටින අමෙරිකානු - උතුරු කොරියානු නායකයින්ගේ මීලග ඓතිහාසික හමුව සඳහා වියට්නාමයේ හැනොයි අගනුවර සූදානම් වෙමින් තිබෙනවා. අමෙරිකාවේ හා උතුරු කොරියාවේ මෙන්ම වියට්නාම ජාතික ධජයන්ගෙන්ද අගනුවර වීථි සරසා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. එසේම අගනුරව ආරක්ෂාව තර කිරීමට ද වියට්නාම බලධාරීන් මේවනවිටත් කටයුතු කර අවසන්. 

හැනෝයි අගනුවර පිහිටි යටත් විජිත යුගයට අයත් රජයේ සුපිරි නවාතැන්පලක මෙම ඓතිහාසික හමුව පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව යාබද සුපිරි හෝටල් පරිශ‍්‍රයක් ද අතිරේකව සූදානම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. සමුළුව ආවරණය කිරීම සඳහා මේවනවිටත් ලියාපදිංචිව සිටින විදෙස් මාධ්‍යවේදීන් සංඛ්‍යාව 2,600ක්. 

මේ අතර ඉදිරි පැය 24තුලදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් වියට්නාමයට පැමිණීමට නියමිතයි. කිලෝ මීටර් 4,500ක දුරක් චීනය හරහා දුම්රියෙන් පැමිණෙන ඔහු අතරමගදී ගුවන් යානයක් භාවිත කරනු ඇතැයිද පැවසෙනවා. එහෙත් මේවනතෙක් සිදු කර ඇති විදෙස් සංචාරයන් සඳහා දුම්රිය පමණක් භාවිත කළ ඔහු මෙම සංචාරයේදී ගුවන් යානයක් භාවිත කිරීම අනපේක්ෂිත බවයි පැවසෙන්නේ. 

කිම් ජොන් අන්ගේ සීයා වන කිම් ඉල් සන්ග් ද 1958 වසරේදී වියට්නාමයේ සංචාරය කර තිබුණා. ඒ සඳහා ඔහු උතුරු කොරියාවේ සිට චීනයේ ගුවැන්ෂූ දක්වා දුම්රියෙනුත් එතැන් සිට වියට්නාමයේ හැනෝයි දක්වා චීනයට අයත් ගුවන් යානයකුත් භාවිත කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ ආරක්ෂකයින් හා රාජ්‍ය මාධ්‍යවේදීන් රැගත් ගුවන් යානය මේවනවිට වියට්නාමයේ හැනෝයි අගනුවරට ළගා වී තිබෙනවා. එසේම වියට්නාමයේදී භාවිත කිරීම සඳහා ඔහු තමාගේ සුපිරි මෝටර් රථය ද රැගෙන එව බව සඳහන්. 

මේ අතර ඓතිහාසික හමුව සඳහා වියට්නාමයට පැමිණෙන අතරවාරයේදී කිමේ ජොන් අන් චීනයට ද පැමිණ තිබුණා. එහෙත්, එහිදී ඔහු චීන ජනාධිපති සී ජින් පින් හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙක්ව හමුවූයේද යන්න පැවසීම චීනය ප‍්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර පැවැත්වීමට නියමිත මෙම දෙවන ඓතිහාසික හමුව ලබන 27 හා 28 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.