Saturday, April 20, 2024

General line - 0115112241

ගුවන් යානය පැහැර ගන්න ගිය සැකකරු මරුට (UPDATE)

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බංග්ලාදේශ ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සහ දැරූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බව එරට බලධාරීන් තහවුරු කරනවා.

විදෙස් වාර්තාවන්හි සඳහන් වන්නේ බංග්ලාදේශයේ විශේෂ කාර්යය බලකාය විසින් එල්ල කළ ප‍්‍රහාරයක් හමුවේ සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවයි. මෙලෙස මියගොස් ඇත්තේ යානයේ ගමන්ගත් 25 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ අනන්‍යතාව බලධාරීන් මෙතෙක් තහවුරු කර නැහැ. 

බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමටයි සැකකරු ඊයේ (24) උත්සහ දරා තිබුණේ. ඔහු නියමු කුටියට ඇතුළුවීමට උත්සහ දැරීමේදී යානය බංග්ලාදේශයේ චිතගොන් ගුවන් තොටුපළක් වෙත ආරක්ෂිතව ගොඩ බැස්වීමට නියමුවා සමත් වී තිබුණා.

ගොඩබෑ ගුවන් යානයට පිවිසි විශේෂ කාර්යය බලකා නිලධාරීන් සැකකරු යටත් කර ගැනීමට උත්සහ කළ ද ඔහු තමන් සතුව පිස්තෝලයක් ඇති බව පවසමින් පිරිස බිය වද්දා තිබෙනවා.

එහිදී ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප‍්‍රහාර හමුවේ තුවාල ලැබූ සැකකරු පසුව මියගොස් ඇතැයි සඳහන්. මෙම සිද්ධිය වාර්තා වන විට එම ගුවන් යානය තුළ පුද්ගලයින් 148 දෙනෙකු සිටි බවයි නවතම විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ. ඔවුන් සියලූ දෙනා නිරුපද්‍රිත බවයි බලධාරීන් පවසා ඇත්තේ. සැකකරු ගුවන් යානය පැහැර ගැනීමට උත්සහ කළ හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 
 

---------------------------------

බංග්ලාදේශ ගුවන් යානයක් පැහැර ගැනීමේ උත්සහයක්

(24-02-2019 21:14)

 

බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමට දැරූ උත්සහයක් ව්‍යාර්ථ කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මෙලෙස පැහැර ගැනීමට උත්සහ දරා ඇත්තේ බංග්ලාදේශයේ ගුවන් සමාගමකට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් බවයි. පැහැර ගැනීමට උත්සහ දැරූ අවස්ථාවේ යානය තුළ මගීන් 142ක් පමණ සිටි බව සඳහන්.

කෙසේවෙතත් ගුවන් ගත කළ යානය යළිත් බංග්ලාදේශයේ චිතගොන් ගුවන් තොටුපළක් වෙත හදිසියේ සාර්ථකව ගොඩබැස්වීමට නියමුවා සමත් වී තිබෙනවා. පසුව යානය පැහැර ගැනීම සඳහා නියමු කුටියට ඇතුළු වීමට උත්සහ දැරූ පුද්ගලයා පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවයි විදෙස් වාර්තා පැවසුවේ.

සැකකරු 25 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු මෙලෙස ගුවන් යානය පැහැර ගැනීමට උත්සහ දැරූ හේතුව මෙතෙක් හෙළි වී නැහැ. කෙසේවෙතත් සිද්ධියෙන් කිසිඳු මගියෙකුට අනතුරක් සිදුව නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.