Thursday, April 25, 2024

General line - 0115112241

පාකිස්ථානයේ ත්‍රස්ත කඳවුරකට ඉන්දීය ගුවන් හමුදාවෙන් කිලෝ 1000ක බෝම්බ හෙළයි : ත්‍රස්තවාදීන් 300ක් මරුට

දිනුක් හේවාවිතාරණ




පාකිස්ථාන දේශසීමාව තුළ පිහිටි ජායේෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන පුහුණු කඳවුරක් ඉලක්ක කර ගනිමින් අද (26) අළුයම ඉන්දීය ගුවන් හමුදාව විසින් සිදුකළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් ත්‍රස්තවාදීන් 300කට අසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මිට දින 10 කට පමණ ඉහතදී කාශ්මීරයේ පුල්වාමා හිදී ඉන්දීය ආරක්ෂක අංශ රථ පෙළක් ඉලක්ක කර ගනිමින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම ගත් ජායේෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය අද එල්ල කළ බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.

ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා 12ක් විසින් මෙම මෙහෙයුමට දායකත්වය ලබාදී ඇති අතර ඔවුන් විසින් කිලෝග්‍රෑම් 1000ක බරකින් යුත් බෝම්බ මෙම ප්‍රහාරයට යොදා ගෙන ඇති බව සඳහන්.

"අපි සාක්ෂි සහිතව පැවසුවා ජායේෂ්-ඊ-මොහොමඩ්  ත්‍රස්ත සංවිධානයේ පාකිස්ථාන දේශසීමාවේ බාල්කොට් හි පිහිටි විශාලතම කඳවුරේ ජිහාඩ් ත්‍රස්තවාදීන්ට පුහුණුවීම් සිදුකරමින් සිටිනවා කියා. අපිට ඒ සඳහා අවශ්‍ය සාධක සියල්ලම රැස් කර ගැනීමෙන් අනතුරුවයි මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ. එය සාර්ථක ප්‍රහාරයක් වුවා, විශාල ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් මෙම ප්‍රහාරයෙන් මියගිය බවට තහවුරුවී තිබෙනවා යැයි" ඉන්දීය විදේශ කටයුතු ලේකම් විජේ ගොකෙල් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියා.

මේ අතර පාකිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඉන්දීය ගුවන් යානා අනවසරයෙන් සිය දේශසීමාව උල්ලංඝණය කරනු ලැබූ බවයි. 

ඉන්දියාව විසින් පාකිස්ථානයට ප්‍රහාරයක් එල්ල කළහොත් තමන්ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ඉකුත් සතියේදී කියා සිටියා.