Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ ප්‍රහාරයට පාකිස්ථානය පිළිතුරු දීම අරඹයි : කළාපය උණුසුම් කරමින් බර අවි ප්‍රහාරයක්

දිනුක් හේවාවිතාරණ




සිය දේශසීමාව උල්ලංඝණය කරමින් ඉන්දියාව විසින් ඊයේ (26) එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයට පිළිතුරු වශයෙන් පාකිස්ථානය මේ වන විට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ජම්මු හා කාශ්මීර් දේශසීමාවේ පිහිටි ඉන්දීය ආරක්ෂක හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල ඉලක්ක කර ගනිමින් පාකිස්ථාන හමුදාව ඊයේ රාත්‍රියේ සිට මෝටාර් ඇතුළු බර අවි උපයෝගී කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවයි ඉන්දීය යුධ හමුදාව නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ.

දෙරට අතර ඇති කර ගෙන තිබෙන සටන් විරාමය උල්ලංඝණය කරමින් පාකිස්ථානය විසින් ආරම්භ කර තිබෙන ප්‍රහාරයන් හමුවේ තමන්ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් එමගින් පාකිස්ථාන හමුදාවේ ආරක්ෂක මුරපොළවල් 05ක් විනාශ කිරීමට හැකිවූ බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කර සිටිනවා.

ඉන්දු-පාකිස්ථාන දේශ සිමාවේ පිහිටි රාජෝරි, පොන්ච් සහරාජෝරි දිස්ත්‍රික්කයේ පිහිටි ස්ථාන 15කට මෙලෙස පාකිස්ථාන හමුදාව විසින් මෝටාර් ඇතුළු බර අවි සහ සැහැල්ලු ගිනි අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය හේතුවෙන් දේශසීමාව ආසන්නයේ කිලෝමීටර් 05ක වපසරිය තුල පිහිටි සියලුම පාසල් අද දිනයේ වසා තැබීමටත් විභාග කල් දැමීමට ඉන්දීය බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

පාකිස්ථාන දේශසීමාව තුළ පිහිටි ජායේෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන පුහුණු කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඊයේ අළුයම ඉන්දීය ගුවන් හමුදාව විසින් සිදුකළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් ත්‍රස්තවාදීන් 300කට අසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වුවත් පාකිස්ථානය ඉන්දියාවේ මෙම ප්‍රහාරය මගීන් කිසිදු ජිවිත හානියක් සිදුනොවූ බවත් ඉන්දියාව සිය සීමාව උල්ලංඝණය කිරීමට පිළිතුරු වශයෙන් තමන්ද ඊට පුදුම හිතෙන ප්‍රති පිළිතුරක් ලබා දෙන බව පාකිස්ථාන විදේශ කටයුතු ඇමතිවරයා ඊයේ කියා සිටියේ.

මේ අතර පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා තිබු අතර ඉන්දීය ප්‍රහාරයට පිළිතුරු දැක්වීම සම්බන්ධයෙන් මෙහිදීදීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියා/