Friday, April 19, 2024

General line - 0115112241

සාකච්ජා සඳහා යොමුවන ලෙස ජාත්‍යන්තරයෙන් බලපෑම් : අත්අඩංගුවේ සිටින ගුවන් නියමුවා වහා නිදහස් කරන්න - ඉන්දියාව දැනුම් දෙයි

දිනුක් හේවාවිතාරණ




පාකිස්ථානයේ අත්අඩංගුවේ පසුවන සිය ගුවන් නියමුවා ආරක්ෂා සහිතව තමන් වෙතට භාර දීමට පියවර ගන්නා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එරට සිටින පාකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත දැනුම් දී තිබෙනවා. 

සිය ඉදිරි ආරක්ෂක වළල්ල ඉලක්ක කර ගනිමින් සිදුකරනු ලබන ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාව විසින් එරට පිහිටි පාකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත දැඩි අප්‍රසාදය පළකර ඇත. ජිනීවා සම්මුතියට අනුව පාකිස්ථානයේ අත්අඩංගුවේ පසුවන සිය ගුවන් නියමුවා ආරක්ෂා සහිතව හැකි ඉක්මනින් යළි භාර දීමට කටයුතු කරන ලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා මෙහිදී පාකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර ජම්මු හා කාශ්මීර් දේශ සිමාවේ ඇතිවී තිබෙන යුධමය තත්ත්වය වහාම පසෙකලා සාකච්ජාවන් සඳහා යොමුවන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව රටවල් දෙකෙන්ම ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඉන්දීය ගුවන් හමුදාව විසින් පාකිස්ථානයේ බාලාකොට් ප්‍රදේශයට ඉකුත් 26 වෙනිදා එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරය සහ ඊයේ එම ප්‍රහාරයට පිළිතුරු වශයෙන් පාකිස්ථානය විසින් ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා දෙකක් බිම හෙළිම යන කරුණු හේතුවෙන් දෙරට අතර ඇතිවී තිබෙන උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානය යොමුවී ඇත.

රුසියාව, චීනය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, යුරෝපා සංගමය සහ සාක් කලාපීය රටවල් වන ශ්‍රී ලංකාව හා නේපාලය නිවේදනයන් නිකුත් කරමින් ඉන්දු-පාකිස්ථාන නායකයින් වෙත දැනුම් දී ඇත්තේ ප්‍රචණ්ඩත්වය වහා නතර කොට ඇතිවී තිබෙන ගැටළු සම්බන්ධයෙන් දේශපාලනීය වශයෙන් සාකච්ජා කොට තීන්දු ගැනීම යහපත් කරුණක් බවයි.

දකුණු ආසියානු කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්ථානය මේ අවස්ථාවේදී එකිනෙකාට ගරු කරමින් සාකච්ජා මාර්ගයන්ට එළැඹීම වඩාත් යෝග්‍ය බවත් තම රටේ පොදු මිතුරන් වන ඉන්දියාව සහ පාකිස්ථානය ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව චීන විදේශ කටයුතු ඇමති වෑන්ග් යී ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සහ ප්‍රංශ විදේශ කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රටවල් දෙකම සාකච්ජාමය විසඳුමක් සෙවීම වඩාත් යහපත් බවයි. නමුත් පාකිස්ථාන රජය විසින් සිය රට තුල සිට ක්‍රියාත්මක වන ඉස්ලාමිය ත්‍රස්ත කණ්ඩායම් අඩපණ කිරීම සඳහා ඉක්මන් විසඳුමක් සෙවීම සුදුසු බවද සිය නිවේදනයේ සඳහන් කර ඇත.

ඉදිරියේදී යුධමය තත්ත්වයක් ඇතිවුව හොත් එමගින් මුළු දකුණු ආසියානු කළාපයට සෘජු බලපෑමක් එල්ලවීමේ හැකියාව ඇති බැවින් අතීතයේ සිදුවූ අමිහිරි අත්දැකීම් සිහියේ තබා ගෙන රටවල් දෙකම සාමකාමිව මෙම ගැටලුව විසඳා ගැනීමට කටයුතු කිරීම සුදුසු බව යුරෝපා සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.