Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිස් ගේල් සහ බට්ලර්ගේ සුපිරි පිතිහරඹයෙන් ඉතිහාසයට එක් වූ තරගය

දිනුක් හේවාවිතාරණ




බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 29කින් ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත් වුවා. ඉතා උද්වේගකාරි තරගයක් වු මෙය අවසන් මොහොතේ එංගලන්තයට ජය අත්කර දීමට අදීල් රෂිඩ් සමත් වුයේ සිය අවසන් පන්දු ඕවරයේදී කොදෙව් පිතිකරුවන් සිවුදෙනෙක් ක්‍රිඩාගාරයට හරවා යැවිමෙන් විම විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකිමට තිරණය කළ කොදෙව් කණ්ඩායමට එංගලන්තය විසින් සිය පන්දු ඕවර 50 අවසානයේදි ලබා දුන් ඉලක්කය වුයේ ලකුණු 419ක්.

එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජොනී බෙයාර්ස්ටෝව් (56) සහ ඇලෙක්ස් හේල්ස් (82) පළමු කඩුල්ල සඳහා අගනා ලකුණු 100ක සම්බන්ධතාවයක් පවත්වනු ලැබුවා.

තරගාවලිය පුරාම සාර්ථක පිතිහරඹයක නිරතවු ජෝ රූට් ලකුණු 5කට දැවි යාමත් සමග නායක ඉයන් මෝගන් සමග එක්වු ඇලෙක්ස් හේල්ස් තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් එක් කළ අතර හේල්ස් ලකුණු 82ක් ලබා සිටියදි දවා ගැනිමට ඈෂ්ලි නර්ස් සමත් වුවා.

ඉන්පසුව පිටියට පිවිසි ජෝස් බට්ලර් (150) ඉයන් මොර්ගන් (103) සමග එක්ව සිවුවන කඩුල්ල සඳහා පන්දු 124ක් තුලදී ලකුණු 204ක් රැස් කරනු ලැබුවේ සිය එක්දින ක්‍රිඩා දිවියේ හොදම ඉණිම ක්‍රිඩා කරමින්.

ජෝස් බට්ලර් විසින් පන්දු 77ක් තුලදි වේගවත් ලකුණු 150ක් රැස් කරනු ලැබු අතර එයට හතරේ පහරවල් 13ක් සහ හයේ පහරවල් 12ක් ඇතුලත් වුණා. එක්දින තරගයකදී පිතිකරුවෙක් රැස්කළ දෙවන වේගවත්ම ලකුණු 150 මෙය වන අතර එංගලන්ත ක්‍රිඩකයෙක් විසින් එක්දින තරගයකදී එල්ල කරනු ලැබු වැඩිම හයේ පහර සංඛ්‍යාව (6x12) වාර්තා කිරිමට බට්ලර් සමත් වුණා.

එමෙන්ම එක්දින තරගයකදී කණ්ඩායමක් එල්ල කරනු ලැබු වැඩිම හයේ පහර සංඛ්‍යාවේ (6x24) වාර්තාවට හිමිකම් කීමට එංගලන්ත කණ්ඩායමට හැකිවුණා.

ජයග්‍රාහි ලකුණු 419ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 44ක් තුලදී දැවි ගියා.

එහෙත් ක්‍රිස් ගේල් (162) සහ ඩැරන් බ්‍රාවෝ (61) එක්ව තෙවන කඩුල්ල සඳහා අගනා ලකුණු 176ක සම්බන්ධතාවයක් පවත්වනු ලැබුවා. 

ක්‍රිස් ගේල් සිය ලකුණු 162 වාර්තා කිරිමට පන්දු 97ක් වැය කරනු ලැබු අතර එයට හතරේ පහරවල් 11ක් සහ හයේ පහරවල් 14ක් ඇතුළත් වුවා. එක්දින ලකුණු 10,000 සිමාව පසුකර යාමට ඊයේ තරගයේදී ක්‍රිස් ගේල් සමත්වු අතර ක්‍රිකට් ඉතිහාසයේ හයේ පහරවල් 500ක් එල්ල කරන ලද පළමු පිතිකරුවා විමේ වාර්තාවට ඔහු හිමිකම් කීමට සමත් වුණා.

කෙසේ වුවත් ක්‍රිස් ගේල් සහ ඩැරන් බ්‍රාවෝගේ දැවියාමත් සමග බටහිර ඉන්දිය කොදෙව් පිලේ කාර්ලෝස් බ්‍රැත්වේට් සහ ඈෂ්ලි නර්ස් එක්ව 7වන කඩුල්ල සඳහා 88ක සබධතාවයක් පැවත්වු අතර අවසන් ඕවර 03 තුලදී ජයග්‍රහණය සඳහා ලකුන් 31ක් අවශ්‍යව තිබුණා.

තරගයේ 48වන පන්දු ඕවරය ක්‍රියාත්මක කිරිම ආරම්භ කරමින් පන්දු යැවිමට පැමිණි අදීල් රෂිඩ් ලකුණු 2ක් පමණක් ලබා දෙමින් කොදෙව් කණ්ඩායමේ අවසන් කඩුලු 4 දවා ගත්තේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට අතපොවන මානයේ තිබු ජයග්‍රහණය එංගලන්තයට හිමිකර දෙමින්.

ඊයේ පැවති තරගය තුලදී එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හතරේ පහරවල් 64ක් සහ හයේ පහරවල් 46ක් එල්ල කරනු ලැබු අතර එක්දින තරගයකදි කණ්ඩායම් දෙකක් එල්ල කරනු ලැබු වැඩිම  හයේ පහරවල් (46) ඇතුලත් තරගය ලෙස මෙය ඉතිහාසයට එක්වුවා.