Tuesday, April 16, 2024

General line - 0115112241

ඔසාමාගේ පුතා සොයා අමෙරිකාව මෙහෙයුමක් අරඹයි : ඔත්තුවට ඩොලර් මිලියනයක්

දිනුක් හේවාවිතාරණ




හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලබා දෙන අයෙක් වෙත ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) මෙම නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ අල් කයිඩා නව නායකයා වශයෙන් හම්සා බින් ලාඩන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

2011 වසරේ දී පාකිස්ථානයේ ඇබෝටොබාද් හි නිවසක සැඟව සිටියදී අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමට අමෙරිකා සීල් බලඝණයේ විශේෂ ප්‍රහාරක ඒකකය සමත් වූ අතර ඉන් පසුව එම සංවිධානය අංශ කිහිපයකට විහිදී ගිය බවයි අමෙරිකාව පවසන්නේ.

කෙසේ වුවත් මිට වසර දෙකකට පමණ ඉහතදී හඬ පටයක් හරහා හම්සා බින් ලාඩන් සිරියාවේ සිටින ඉස්ලාමිය අන්තවාදී (IS) සටන්කාමීන් වෙත පණිවිඩයක් දෙමින් කියා සිටියේ බටහිර ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරනු ලබන සටන අත්නොහරින ලෙසයි. 

මේ වන විට හම්සා බින් ලාඩන් සම්බන්ධයෙන් බුද්ධි අංශ සතුව බුද්ධි තොරතුරු නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී ඔහුගේ නායකත්වය යටතේ නව ජිහාඩ් අන්තවාදී සටන්කරුවන් ලෝක ප්‍රජාවට බලපෑමක් වනු ඇති බැවින් එය ව්‍යර්ථ කිරීම බලාපොරොත්තුව බව අමෙරිකාව පවසයි.

හම්සා බින් ලාඩන් පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ හෝ ඉරානයේ නිවාස අඩස්සියේ පසුවන බවට අමෙරිකා බුද්ධි අංශ සැකකරනවා.