Saturday, April 20, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන්ගේ නම නොබෙල් සාම ත්‍යාගයට ? ඉන්දියාවෙන් යළිත් පාකිස්ථානයට චෝදනා

දිනුක් හේවාවිතාරණ




ඉන්දීය ගුවන් හමුදා නියමුවා නිදහස් කිරීමට පියවර ගැනීමට අගමැති ඉම්රාන් ඛාන් පියවර ගැනීම හේතුවෙන් ඔහුගේ නම 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කළ යුතු යැයි දක්වමින් යෝජනාවක් එරට ජාතික සම්මේලනයට පාකිස්ථාන තොරතුරු අමාත්‍ය ෆවාඩ් චවුද්‍රි විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාව අනුව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට පියවර ගැනීම හේතුවෙන කළාපයේ සාමය ආරක්ෂා වීමට හා ඉන්දියාව සමග ගැටුමකට නොයා සිටීම සඳහා උපකාරිවු බව සඳහන්.

මේ අතර change.org වෙබ් අඩවිය ඔස්සේද අන්තර්ජාල පෙත්සමක් හරහා නොබෙල් සාම ත්‍යාගය පාකිස්ථාන අගමැතිවරයාට ලබා දිය යුතු බවට දක්වමින් අත්සන් එකතු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා මේ වන විට 225,000 කට අධික පිරිසක් අත්සන් තබා සහය පළකර තිබේ.

පාකිස්ථාන අත්අඩංගුවේ පසුවූ වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ථමාන් යළි ඉන්දීය බළධාරීන් වෙත භාර දීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් ඒ පිලිබදව සොයා බැලීම සඳහා ඉස්ලාමාබාද් නුවර සිට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලාහෝර් බලා ඊයේ (01) රාත්‍රියේ පැමිණි සිටි බවද වාර්තා විය.  එහිදී අවශ්‍ය කටයුතු සිදුකොට ඉක්මනින් ගුවන් හමුදා නියමුවා ඉන්දියාව වෙත භාර දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු ඉහළ පෙළේ ආරක්ෂක නිළධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මේ අතර ඉන්දීය ආරක්ෂක සෙබළුන් 40 දෙනෙක්ට මරු කැඳවමින් පුල්වාමා හිදී පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ බව කියන ජායිෂ්-ඊ-මොහොමඩ් අන්තවාදී සංවිධානයේ ප්‍රධානියා වන මසුඩ් අසාර් පාකිස්ථානයේ හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවට ඉන්දීය ආරක්ෂක හමුදාව චෝදනා කර සිටියි.

"පාකිස්ථානයෙන් ලැබෙන විශ්වාසදායක කටයුතු ආරංචි මාර්ග වලට අනුව මසුඩ් අසාර් දැනට පාකිස්ථානයේ රාවල්පිණ්ඩි හමුදා මුලස්ථානයේ පිහිටි රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔහුගේ ශරිර අභ්‍යන්තර ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වීම හේතුවෙන් දෛනිකව ලේ පිරිසිදු (ඩයලසීස්) කිරීමේ ක්‍රියාවලියක් සිදුකෙරෙනවා" යැයි ඉන්දියාවේ ජේෂ්ඨ හමුදා නිළධාරියෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි ඉකුත් දා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ජායිෂ්-ඊ-මොහොමඩ් සංවිධානයේ ප්‍රධානියා රෝගීව සිටින බවයි. පුල්වාමා ප්‍රහාරයට එම සංවිධානයේ සම්බන්ධයක් ඇත්ද යන්න ගැන ඉන්දියාව සාක්ෂි සහිතව ඔප්පු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව පාකිස්ථාන රජය පියවර ගැනීමට සුදානම් බව එරට විදේශ කටයුතු අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඊයේ රාත්‍රියේ සිට ඉන්දු-පාකිස්ථාන දේශ සිමාවේ ඇතිවූ ගැටුම් වලින් සිවිල් වැසියන් 10 දෙනෙක් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 4 දෙනෙක් මිය ගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.